දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පවරා ඇති නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා ලබන 29 වැනිදා යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කර තිබේ.
අද (13) මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇත. නඩුවේ වැඩිදුර විභාගයද එදින දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියෝග කර තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව 2020 වසරේදී ගොනු කර ඇත්තේ 2006 වසරේ ලන්ඩනයේ පැවති ආයෝජන ප්‍රවර්ධන ප්‍රදර්ශනයකට අදාළ හෝටල් ගාස්තු සහ ප්‍රදර්ශන වියදම් ලෙස රුපියල් ලක්ෂ 15කට අධික මුදලක් මහා භාණ්ඩාගාරයෙන් නීතිරීතිවලට පටහැනිව ගෙවීමට ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා පෙළඹවූ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙනි.
නඩු විභාගයට අවස්ථා කිහිපයකදී පෙනී නොසිටීම හේතුවෙන් මහාධිකරණය විසින් ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබූ අතර, පසුගිය 7 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. නඩුව අවසන් වනතුරු ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහාධිකරණය මීට පෙර නියෝග කර තිබේ.














