‘AgriConnect Sri Lanka’ වැඩසටහන නිල වශයෙන් එළිදැක්වීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ලෝක බැංකුවේ දේශීය කළමනාකරු Gevorg Sargsyan මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් අතර සාකච්ඡාවක් අද (13) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වී තිබේ.
එම වැඩසටහනේ නිල එළිදැක්වීම ඔක්තෝබර් 30 වැනිදා TRACE Expert City පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අතර, ඒ සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
ලෝක බැංකු නියෝජිත පිරිස වැඩසටහන පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකර ඇති අතර, ලෝක බැංකු සමූහයේ මෙම ගෝලීය වැඩසටහනට එක්වන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වීමට නියමිතව තිබීම සුවිශේෂී සන්ධිස්ථානයක් බවද අවධාරණය කර තිබේ.
මෙම අවස්ථාවට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආර්ථික හා කෘෂිකර්ම විශේෂඥයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. ජනාධිපති ලේකම් කාර්යාලය නියෝජනය කරමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ආචාර්ය ධනුෂ්ක පෙරේරා සහ ජනාධිපති සහකාර ලේකම් ආර්.ඒ. රුවන්පතිරණ යන මහත්වරුද සහභාගි වූහ.














