‘දිට්වා’ ආපදා තත්ත්වයෙන් දැඩි ලෙස පීඩාවට පත් ජනතාවට ස්ථිර නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ මහියංගණය, මැදයාය ප්රදේශයේ ඉදිකෙරෙන නව නිවාස ව්යාපෘතියේ කටයුතු කඩිනමින් සිදුකෙරෙමින් පවතී. නිවාස රැසක ඉදිකිරීම් මේ වනවිට අවසන් අදියරට ළඟා වී තිබේ.
ව්යාපෘතියේ ප්රගතිය නිරීක්ෂණය කිරීම සඳහා වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් අමාත්ය සමන්ත විද්යාරත්න මහතා පසුගියදා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මීට මාස තුනකට පමණ පෙර ආරම්භ කළ මෙම ව්යාපෘතිය යටතේ නිවාස 41ක් ඉදිකෙරෙන අතර, ආපදාවෙන් පීඩාවට පත් තවත් පවුල් සඳහා ඉඩම් කට්ටි 30ක් පමණ ලබාදීමටද සැලසුම් කර තිබේ.
බදුල්ල දිස්ත්රික්කයේ නිවාස සම්පූර්ණයෙන් හානි වූ සහ අධි අවදානම් කලාපවල පදිංචිව සිටින පවුල් 3,748ක් සඳහා ස්ථිර නිවාස ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මෙම ව්යාපෘතිය ක්රියාත්මක වේ.
එක් නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 50ක මුදලක් අදියර තුනකින් ප්රතිලාභී පවුල් වෙත ලබාදීමට නියමිතය. ඒ අනුව පළමු අදියරේදී රුපියල් ලක්ෂ 20ක්ද, දෙවැනි හා තෙවැනි අදියරවලදී රුපියල් ලක්ෂ 15 බැගින්ද ලබාදීමට සැලසුම් කර ඇත. අදාළ ඉඩම් සඳහා පූර්ණ සින්නක්කර ඔප්පු ලබාදීමටද රජය අපේක්ෂා කරයි.
නිවාස ඉදිකිරීමට අමතරව ප්රවේශ මාර්ග සංවර්ධනය කිරීම, ජලය සහ විදුලිය සැපයීම ඇතුළු යටිතල පහසුකම් සකස් කිරීම කෙරෙහිද අවධානය යොමු කර තිබේ.
මෙම වසර අවසන් වීමට පෙර ආපදාවෙන් පීඩාවට පත් සියලු පවුල් නව නිවාසවල පදිංචි කරවීමට අවශ්ය පියවර ගන්නා බව අමාත්ය සමන්ත විද්යාරත්න මහතා සඳහන් කළේය.
















