බන්ධනාගාර තුළ හදිසි තත්ත්වයන් ඇතිවන අවස්ථාවලදී ඒවා කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සහ රැඳවියන්ගේ සුබසාධනය තහවුරු කිරීම සඳහා රාජ්ය ආයතන අතර අන්තර් සම්බන්ධතාව ශක්තිමත් කළ යුතු බව අධිකරණ අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ඒ අනුව, දිවයිනේ සියලු බන්ධනාගාර ආවරණය වන පරිදි ඒකාබද්ධ යාන්ත්රණයක් පිහිටුවීමේ වැඩපිළිවෙළ යටතේ වටරැක එළිමහන් වැඩකඳවුර මූලික කරගනිමින් එවැනි යාන්ත්රණයක් පිහිටුවීම අද (15) පෙරවරුවේ සිදු කෙරිණි.
වටරැක එළිමහන් වැඩකඳවුරේ අධිකාරිවරයාගේ මූලිකත්වයෙන් රාජ්ය ආයතන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම කමිටුව පිහිටුවා තිබේ. එම කමිටුව අවම වශයෙන් මාසයකට හෝ දෙකකට වරක් රැස්වී බන්ධනාගාරයේ අවශ්යතා පිළිබඳව සාකච්ඡා කළ යුතු බවද අමාත්යවරයා අවධාරණය කළේය.
හදිසි අවස්ථාවකදී රාජ්ය ආයතන අතර සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම මගින් එවැනි තත්ත්වයන් වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට හෝමාගම ප්රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක, වටරැක එළිමහන් වැඩකඳවුරේ අධිකාරී ආර්.එස්. මහානාම යන මහත්වරුන් ඇතුළු යුද, නාවික හා ගුවන් හමුදා, ගිනි නිවීමේ සේවා, ජල සම්පාදන මණ්ඩලය සහ විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්ය ආයතන රැසක නිලධාරීහු සහභාගි වූහ.
















