පොදු ප්රවාහනය තුළ කාන්තාවන්ට හා දරුවන්ට සිදුවන හිංසනය තුරන් කිරීමේ අරමුණින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (14) මාතර ප්රධාන බස් නැවතුම්පොළේදී පැවැත්විණි.
ළමා හා කාන්තා කටයුතු අමාත්ය සරෝජා පෝල්රාජ් මහත්මියගේ ප්රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී බස් රථවල සහ දුම්රියවල ගමන් කරන කාන්තාවන්ට හා දරුවන්ට හිංසනයෙන් තොරව ගමන් කිරීමට ඇති අයිතිය පිළිබඳව ජනතාව දැනුවත් කෙරිණි.
හිංසනයක් සිදුවන අවස්ථාවක් දුටු විට එයට එරෙහිව ක්රියාත්මක වීම පුරවැසියන්ගේ අයිතියක් මෙන්ම වගකීමක් බවද අමාත්යවරිය අවධාරණය කළාය.
එහිදී පැය 24 පුරා ත්රෛභාෂාවෙන් ක්රියාත්මක ගාස්තු රහිත 1938 කාන්තා උපකාරක සේවය, 1929 ළමා උපකාරක සේවය සහ 109 පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ක්ෂණික ඇමතුම් සේවය පිළිබඳවද දැනුවත් කිරීම සිදු කෙරිණි.
හදිසි අවස්ථාවකදී හෝ හිංසනයක් සිදුවූ විට ඒ පිළිබඳව දැනුම් දීමට අවශ්ය උපදෙස් ඇතුළත් පත්රිකා මගීන් අතර බෙදා දී තිබේ. එමෙන්ම කාන්තාවන්ට පහසුවෙන් ළඟ තබාගත හැකි හදිසි ඇමතුම් කාඩ්පත් ලබාදීමටද කටයුතු කරන බව අමාත්යවරිය සඳහන් කළාය.
















