ජෙනරාල් ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ (KDU) 37 වැනි වාර්ෂික උපාධි ප්රදානෝත්සවය ඔක්තෝබර් 6 සහ 9 යන දිනවල කොළඹ බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
මෙම උත්සවයේදී ශ්රී ලංකා පොලිසියේ මූල්ය ප්රතිපාදන යටතේ විවිධ උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා සාර්ථකව අවසන් කළ පොලිස් නිලධාරීන් 68 දෙනෙකුට උපාධි සහතික පිරිනැමිණි.
ඒ අතර අපරාධ විද්යාව හා අපරාධ යුක්තිය පිළිබඳ උපාධිධාරීන් 25 දෙනෙකු, පොලිස් විද්යාව පිළිබඳ උපාධිධාරීන් 22 දෙනෙකු සහ නීති උපාධිධාරීන් 9 දෙනෙකු ඇතුළත් වෙති. ඉංජිනේරු, භෞතචිකිත්සක, තොරතුරු තාක්ෂණ, තොරතුරු පද්ධති, ජාතික ආරක්ෂාව හා උපායමාර්ගික අධ්යයන, ජාත්යන්තර සබඳතා සහ නීතිය පිළිබඳ පශ්චාත් උපාධි ලබාගත් නිලධාරීහුද ඒ අතර වෙති.
මෙවර උපාධි ප්රදානෝත්සවයේදී කාන්තා උප පොලිස් පරීක්ෂක එස්.එම්.ටී.එන්.එල්. සිරිවර්ධන විශේෂ ඇගයීමකට ලක්වූවාය. ඇය අපරාධ විද්යාව හා අපරාධ යුක්තිය පිළිබඳ විද්යාවේදී උපාධිය පළමු පන්තියේ සාමාර්ථයක් සහිතව සමත් වී ඇති අතර, අදාළ පාඨමාලාවේ අධ්යයන විශිෂ්ටතා රන් පදක්කම සහ හොඳම කාර්යසාධනය වෙනුවෙන් පිරිනමන කුසලානයද හිමිකරගෙන තිබේ.
එසේම පොලිස් සේවය සඳහා පුහුණුව ලබන ශිෂ්යභටයන් 10 දෙනෙකුට වෛද්ය උපාධිය (MBBS) පිරිනමා ඇත.
උත්සවයේ ප්රධාන ආරාධිතයා ලෙස ආරක්ෂක අමාත්යාංශයේ නියෝජ්ය අමාත්ය විශ්රාමික මේජර් ජෙනරාල් කේ.පී. අරුණ ජයසේකර මහතා සහභාගී වූ අතර, ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ඇතුළු උසස් රාජ්ය නිලධාරීන් සහ විශ්වවිද්යාල ප්රධානීහුද එක්ව සිටියහ.
නිලධාරීන්ගේ අධ්යාපනික හා වෘත්තීය දැනුම වර්ධනය කරමින් මහජනතාවට වඩාත් ගුණාත්මක පොලිස් සේවාවක් ලබාදීම සඳහා අවශ්ය මානව සම්පත ගොඩනැගීමට ශ්රී ලංකා පොලිසිය මෙවැනි අධ්යාපනික අවස්ථා ලබාදීමට කටයුතු කරයි.
















