වෙරළ තීරය ආරක්ෂා කිරීම, ප්රදේශයේ ධීවර ප්රජාවට සහයෝගය දැක්වීම සහ සංචාරක කර්මාන්තය නංවාලීම අරමුණු කරගනිමින් මන්නාරමේ සිලාවතුර – අරිප්පු ප්රදේශයේ නව වෙරළ උද්යානයක ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබේ.
පරිසර නියෝජ්ය ඇමති ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්රධානත්වයෙන් මෙම ව්යාපෘතිය සඳහා මුල්ගල් තැබීම ඊයේ (14) සිදු කෙරිණි. මන්නාරමේ ඓතිහාසික ඩොරික් බංගලාව (Doric Bungalow) අවට ප්රදේශයේ පවතින සංචාරක විභවය සැලකිල්ලට ගනිමින් මෙම ව්යාපෘතිය ක්රියාත්මක කරනු ලබන අතර, සිලාවතුර – අරිප්පු වෙරළ තීරයේ දැඩි වෙරළ ඛාදන තත්ත්වයන් පාලනය කිරීමට මෙන්ම ප්රදේශයේ ධීවරයන්ට තම යාත්රා නැංගුරම් ලෑම සඳහා අමතර පහසුකම් සැලසීමටද මෙයින් අපේක්ෂා කෙරේ. පරිසර අමාත්යාංශය සහ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම ව්යාපෘතිය ක්රියාත්මක කරයි.
















