ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ පරිපාලනය, ඩිමොක්රටික් පක්ෂ කොංග්රස් මන්ත්රීනී ඉල්හාන් ඕමාර්ගේ ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමේ හැකියාව පිළිබඳ විමර්ශනයක් සිදුකරන බව The Wall Street Journal පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, සෝමාලියාවේ සිට සරණාගතයෙකු ලෙස ඇමෙරිකාවට පැමිණි ඕමාර් පුරවැසිභාවය ලබාගත් ආකාරය පිළිබඳව බලධාරීන් සොයාබලමින් සිටිති. විමර්ශනයට අදාළව ඇයගේ පවුලේ සාමාජිකයන්ගේ ආගමන ලේඛන පරීක්ෂා කර ඇති අතර, මිනසෝටා ප්රාන්තයේ මහා ජූරි සභාවක් හමුවේ සාක්ෂි ලබාගැනීම සඳහා ඥාතීන් ඇතුළු පාර්ශ්ව වෙත උපසිරැසි 12කට වැඩි සංඛ්යාවක් නිකුත් කර ඇති බව වාර්තාවේ සඳහන් වේ.
පුරවැසිභාවය පිළිබඳ විමර්ශනයට හේතුව
විමර්ශනයේ ප්රධාන අවධානය යොමුවී ඇත්තේ ඕමාර්ගේ වයස සම්බන්ධයෙන් ආගමන ලේඛනවල තොරතුරු වෙනස් කර තිබේද යන්න පිළිබඳවය. එමඟින් ඇයගේ පියා හරහා පුරවැසිභාවය ලබාගැනීමට හැකි වූයේද යන්න බලධාරීන් සොයා බලන බව වාර්තා වේ. ඕමාර් 1995දී ඇමෙරිකාවට පැමිණ 2000දී පුරවැසිභාවය ලබාගෙන තිබේ.
කෙසේ වෙතත්, ඕමාර්ගේ කාර්යාලය මෙම විමර්ශනය පදනම් විරහිත එකක් ලෙස ප්රතික්ෂේප කර තිබේ. විමර්ශනයක් පැවැත්වීමෙන් පමණක් පුරවැසිභාවය අහෝසි නොවන අතර, එවැනි පියවරක් සඳහා අධිකරණ ක්රියාමාර්ග අවශ්ය බව Al Jazeera වාර්තාව සඳහන් කරයි. මේ වන විට පුරවැසිභාවය අහෝසි කළ බවට තොරතුරක් වාර්තා වී නොමැත. 














