තුර්කියේ ඉස්තාන්බුල් නගරයට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිව තිබේ. ජලයෙන් යටවූ මාර්ග, නිවාස හා ව්යාපාරික ස්ථාන රැසකට හානි සිදුව ඇති අතර, මාර්ග කිහිපයක් කඩා වැටීමෙන් ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී තිබේ.
ඉස්තාන්බුල්හි ෆාතිහ් දිස්ත්රික්කයේ බලට් ප්රදේශයේදී ජලය පිරුණු ස්ථානයක් හරහා ගමන් කළ 14 හැවිරිදි පිරිමි ළමයෙකුට විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇත. ඔහු රෝහල්ගත කළද ජීවිතය බේරාගැනීමට නොහැකි වූ බව ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර ඇත.
අධික වර්ෂාව හේතුවෙන් නිවාස හා ව්යාපාරික ස්ථාන ජලයෙන් යටවී ඇති අතර, රෝහල් සහ මෙට්රෝ දුම්රිය ස්ථානයකට ද ජලය ඇතුළු වී තිබේ. වාහන රැසක් ජලයෙන් යටවීමත් සමඟ නගරයේ රථවාහන තදබදය දැඩි වී ඇත.
ආරක්ෂක පියවරක් ලෙස ඉස්තාන්බුල් නගරයේ පාසල්වල අධ්යාපන කටයුතු තාවකාලිකව අත්හිටුවීමටත්, යතුරුපැදි ධාවනය සීමා කිරීමටත් බලධාරීන් පියවර ගෙන තිබේ. ගංවතුර අවදානම පවතින ස්ථානවලින් ඉවත්ව සිටින ලෙසත්, අත්යවශ්ය නොවන ගමන්වලින් වළකින ලෙසත් ජනතාවට දැනුම් දී ඇත.
















