රටේ වත්මන් තත්ත්වය පිළිබඳව විපක්ෂය ඉදිරිපත් කරන සභාව කල් තැබීමේ යෝජනාව අද (20) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.
පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කර ඇති පරිදි, ඔක්තෝබර් 20 වැනිදා සිට 23 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, අද පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂයේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.
විපක්ෂයේ ප්රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කර ඇත්තේ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි. එමෙන්ම, ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ගැටලු පවතින බව පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා ප්රකාශ කර තිබේ.
හෙට (21) දිනයේදී රාජ්ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනාවක් සහ පරිපූරක ඇස්තමේන්තුවක් විවාදයට ගෙන අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
බ්රහස්පතින්දා (22) විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥාපනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත් දෙකක දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර, සිකුරාදා (23) ජලභීතිකා රෝගය තුරන් කිරීම සහ සුනඛයන් ලියාපදිංචි කිරීම සම්බන්ධ පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම විවාදයට ගැනීමට නියමිතය.














