පාකිස්තානයේ පැවැති ශ්රී ලංකාව, බංග්ලාදේශය සහ පාකිස්තානය සහභාගී වූ වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 තුන්කොන් ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනාගත් ශ්රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම යළි දිවයිනට පැමිණ තිබේ.
ඔක්තෝබර් 16 වැනිදා ෆයිසලාබාද්හි පැවැති අවසන් මහා තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කරමින් ශ්රී ලංකා ක්රීඩිකාවෝ ශූරතාව තහවුරු කර ගත්හ. පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 158ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශයට කඩුලු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 154ක් පමණි.
අවසන් තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සංජානා කාවින්දි පන්දු 44කින් ලකුණු 64ක් රැස් කළාය. ඇය අවසන් මහා තරගයේ දක්ෂතම ක්රීඩිකාවට මෙන්ම සමස්ත තරගාවලියේ දක්ෂතම ක්රීඩිකාවට හිමි සම්මාන ද දිනා ගත්තාය. තරගාවලියේ ඉනිම් හයකදී ලකුණු 316ක් රැස් කරමින් වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වීමට ද සංජානා සමත් වූවාය.
ජයග්රාහී ශ්රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 18 වැනිදා රාත්රී 10.43ට පමණ පාකිස්තානයේ ලාහෝර් නුවර සිට ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් UL 186 ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වේ. කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළට පැමිණ සිටියහ.













