අපවත්වී වදාළ ශ්රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්ය අනුග්රහය සහිතව හෙට (21) පස්වරුවේ ගැටඹේ ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
නාහිමිපාණන් වහන්සේගේ ශ්රී දේහය මේ වනවිට ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇත.
කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ මහනුවර පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී පසුගිය 18 වැනිදා අපවත්වූහ. අපවත් වන විට උන්වහන්සේ 96 වැනි වියේ පසුවූහ.
ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය කේන්ද්ර කරගනිමින් මෙරට බෞද්ධ පුනර්ජීවනය හා සංස්කෘතික අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටු කළ නාහිමිපාණන් වහන්සේ ජාතික හා ආගමික වැදගත්කමක් ඇති අවස්ථාවලදී රටත් ආගමත් වෙනුවෙන් හඬ නැගූ යතිවරයාණන් වහන්සේ නමක් ලෙසද ගෞරවාදරයට පාත්ර වූහ.














