බාල ගල්අඟුරු ආනයනය හේතුවෙන් රටට සිදුවූ රුපියල් බිලියන 18කට අධික මූල්ය පාඩුව සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
විධිමත් තත්ත්ව පරීක්ෂාවකින් තොරව අනාරක්ෂිත ලෙස ගල්අඟුරු තොග භාවිතයට ගැනීම හේතුවෙන් මෙම දැවැන්ත පාඩුව සිදුව ඇති බව හෙළි කරමින් මන්ත්රීවරයා සඳහන් කළේ, විදුලිබල අමාත්යාංශයේ අතිරේක ලේකම්වරයාගේ ප්රධානත්වයෙන් පත්කළ කමිටු වාර්තාවට අනුව මෙහි සමස්ත පාඩුව රුපියල් මිලියන 18,368.89ක් බවයි. ප්රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය, අතිරේක නඩත්තු කටයුතු, අළු ප්රවාහනය, විදුලිය නිෂ්පාදනය නොවීම නිසා වැඩිපුර විදුලිය මිලදී ගැනීමට සිදුවීම, හදිසි මිලදී ගැනීම් සහ නැව් ප්රමාදවීම් වැනි විවිධ කාරණා යටතේ මෙම බරපතළ පාඩුව සිදුවී ඇති බව මන්ත්රීවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
















