ශ්රී ලංකාවේ ප්රථම ජාතික ශල්ය වෛද්ය මැහුම් තරගාවලිය වන “Master of Precision Suturing Championship” සඳහා සහයෝගය දැක්වීමට Sunshine Medical Devices ආයතනය සහ ශ්රී ලංකා ප්ලාස්ටික්, ප්රතිනිර්මාණ හා සෞන්දර්යාත්මක ශල්ය වෛද්යවරුන්ගේ සංගමය (SLAPRAS) එක්ව තිබේ.
දිවයින පුරා වෛද්ය පීඨ 11ක් නියෝජනය කරමින් සිව්වන වසරේ වෛද්ය සිසුන් මෙම තරගාවලියට සහභාගී වන අතර, වෛද්ය පුහුණුවේ මුල් අවධියේදීම ඔවුන්ගේ ප්රායෝගික ශල්ය වෛද්ය කුසලතා වර්ධනය කිරීම සහ දක්ෂතා හඳුනාගැනීම මෙහි ප්රධාන අරමුණයි.
තරගාවලියේදී මැහුම් දැමීමේ තාක්ෂණික කුසලතා, උපකරණ හැසිරවීම, නිරවද්යතාව, ස්ථාවරත්වය සහ සමස්ත තාක්ෂණික හැකියාව ඇතුළු ශල්ය වෛද්ය කටයුතු සඳහා වැදගත් වන අංශ කිහිපයක් ඇගයීමට ලක් කෙරේ. එමෙන්ම ක්ෂේත්රයේ විශේෂඥ ශල්ය වෛද්යවරුන්ගෙන් උපදෙස් හා මඟපෙන්වීම් ලබාගැනීමටද සිසුන්ට අවස්ථාව හිමිවේ.
Sunshine Healthcare Lanka හි විධායක අධ්යක්ෂ සහ Sunshine Medical Devices හා Lina Manufacturing හි ප්රධාන විධායක නිලධාරී ආචාර්ය ටී. සයන්දන් මහතා සඳහන් කළේ, මෙවැනි සහයෝගීතා තුළින් නව තාක්ෂණය සමඟ වෛද්ය සිසුන්ගේ ප්රායෝගික කුසලතා වර්ධනය කරමින් මෙරට සෞඛ්ය සේවයේ අනාගතය ශක්තිමත් කිරීමට දායක විය හැකි බවයි.
SLAPRAS සභාපති යසස් අබේවික්රම මහතා පෙන්වා දුන්නේ, මෙම වැඩසටහන තාක්ෂණික කුසලතා ඇගයීමට පමණක් සීමා නොවී, සිසුන් තුළ නිර්මාණශීලීත්වය, විනය සහ වෘත්තීය ප්රමිතීන් වර්ධනය කිරීමටද ඉවහල් වන බවයි.
විශේෂඥ ශල්ය වෛද්ය ගයාන් ඒකනායක මහතාගේ මූලිකත්වයෙන් ක්රියාත්මක වන මෙම වැඩසටහන වාර්ෂික ජාතික වැඩසටහනක් ලෙස පවත්වාගෙන යාමට SLAPRAS අපේක්ෂා කරයි.
















