ප්රංශයේ ඉහළ යන ඉන්ධන මිල සහ සැපයුම් අවදානම් පාලනය කිරීමේ අරමුණින් එක්සත් අරාබි එමීර් රාජ්යයෙන් සහ බහරේනයෙන් මසකට අමතර ඩීසල් ටොන් ලක්ෂ දෙකක් ලබාගැනීමට එකඟතා ඇති කරගෙන තිබේ. ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන්ගේ ගල්ෆ් කලාපීය සංචාරය අතරතුර මෙම එකඟතා ප්රකාශයට පත් කර ඇත.
ප්රංශ ජනාධිපති කාර්යාලය සඳහන් කළ පරිදි, එක්සත් අරාබි එමීර් රාජ්යය මසකට ඩීසල් ටොන් ලක්ෂයක් සැපයීමට එකඟ වී ඇති අතර, බහරේනයෙන් ද මසකට තවත් ටොන් ලක්ෂයක් ලබාගැනීමට එකඟතාවක් ඇති කරගෙන තිබේ. සෞදි අරාබියෙන් ලැබීමට නියමිත සැපයුම් ද සමඟ ප්රංශයට මාසිකව ඩීසල් ටොන් 295,000ක් ලබාගැනීම සඳහා එකඟතා පවතින බව වාර්තා වේ. එය ප්රංශයේ ඩීසල් පරිභෝජනයෙන් සියයට 10කට මඳක් වැඩි ප්රමාණයකි.
මෙම පියවර ගෙන ඇත්තේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ප්රංශයේ ජීවන වියදම සම්බන්ධයෙන් ජනතා විරෝධතා මතුව ඇති පසුබිමකය. මැක්රොන්ගේ සංචාරයට කුවේට් සහ කටාර් යන රටවල් ද ඇතුළත් වන අතර, බලශක්ති සැපයුම ශක්තිමත් කිරීම සහ කලාපීය සහයෝගීතාව වර්ධනය කිරීම ද සංචාරයේ අරමුණු අතර වේ.
ඉන්දියන් සාගරයේ පිහිටි ප්රංශයට අයත් මයෝට් සහ රීයුනියන් දූපත් වෙත ඩීසල් සහ භූමිතෙල් සැපයීමට කුවේට් ද එකඟතා ලබාදී ඇති බව ප්රංශ ජනාධිපති කාර්යාලය සඳහන් කර තිබේ. හෝමුස් සමුද්ර සන්ධිය හරහා ප්රවාහනයට ඇති බාධා මඟහැරීම සඳහා එම සැපයුම් ඕමානය හරහා ගෙනයාමට සැලසුම් කර ඇත.
ප්රංශ බලශක්ති සමාගමක් වන TotalEnergies හි ප්රධාන විධායක නිලධාරී පැට්රික් පුයන්නේ පවසා ඇත්තේ මෙම සැපයුම් එකඟතා ප්රංශ ජනතාවගේ කනස්සල්ල අඩු කිරීමට උපකාරී වනු ඇති බවයි. කෙසේ වෙතත්, මෙම එකඟතා මඟින් ඉන්ධන මිල කොපමණ අඩුවනු ඇත්ද යන්න නිශ්චිතව ප්රකාශ කර නොමැත.
















