ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන් සහ පාකිස්තාන හමුදා ප්රධානී ෆීල්ඩ් මාෂල් අසිම් මුනීර් අතර හමුවකදී, ඇමෙරිකාව සහ ඉරානය අතර මැදිහත්වීමේ උත්සාහයන් සහ කලාපීය වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කර තිබේ.
ඉරාන මාධ්ය වාර්තා උපුටා දක්වමින් Reuters පුවත් සේවය වාර්තා කළේ, අඟහරුවාදා ටෙහෙරාන් නුවරදී මෙම සාකච්ඡා පැවැති බවයි. ඇමෙරිකාව සහ ඉරානය අතර මැදිහත්කරුවෙකු ලෙස පාකිස්තානය කටයුතු කරමින් සිටින අතර, එම උත්සාහයන් යටතේ ජුනි මාසයේදී අතුරු සාම අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබුණි. කෙසේ වෙතත්, ඉන් සති කිහිපයකට පසු දෙපාර්ශ්වය අතර නැවත ගැටුම් ඇතිවීමත් සමඟ එම එකඟතාව බිඳ වැටී තිබේ
පාකිස්තාන හමුදා ප්රධානී අසිම් මුනීර් ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාකර් කාලිබාෆ් සමඟ ද සාකච්ඡා කර තිබේ. එහිදී, හෝමුස් සමුද්ර සන්ධිය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ඉරානය ඉදිරිපත් කර ඇති කොන්දේසි ඉටු කරන තෙක් ඇමෙරිකාව කෙරෙහි විශ්වාසය යළි ගොඩනැඟිය නොහැකි බව කාලිබාෆ් ප්රකාශ කළ බව ඉරාන පාර්ශ්වයේ නිවේදනයක සඳහන් වේ.
එම කොන්දේසි අතර ඉරාන වරායන්ට පනවා ඇති ඇමෙරිකානු අවහිරතා ඉවත් කිරීම, ඉරාන තෙල් අපනයන සම්බන්ධ සම්බාධක ඉවත් කිරීම සහ කලාපයේ ගැටුම් අවසන් කිරීම ඇතුළත් වේ. කෙසේ වෙතත්, මෙම හමුවෙන් පසු නව ගිවිසුමක් හෝ සටන් විරාමයක් ඇති වූ බවට තහවුරු කිරීමක් වාර්තා වී නොමැත
















