යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව පනත් කෙටුම්පත අතිශය අනතුරුදායක, අනවශ්ය ලෙස පුළුල් සහ සාමාන්ය පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් අහෝසි කරන මර්දනකාරී එකක් බව ශ්රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙන්වා දෙයි. පනත් කෙටුම්පතේ සඳහන් ‘පච්ච’ (Tattoos) සහ ‘විශේෂිත ඇඳුම් පැළඳුම්’ පිළිබඳ සීමා කිරීම් සංවිධානාත්මක අපරාධකරුවන්ට පමණක් අදාළ වන බවට අධිකරණ අමාත්යවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්රකාශය දැඩි ලෙස විවේචනය කරන ඒ මහතා, කිසිදු මහජන හෝ පාර්ශ්වකාර උපදේශන ක්රියාවලියකින් තොරව ඉදිරිපත් කර ඇති මෙම යෝජිත නීතිය මඟින් සාමාන්ය ජනතාව දැඩි අවදානමකට ලක්වන බව පවසයි. පුද්ගලයෙකු සතු පච්චයක් හෝ ඇඳුමක් අපරාධ කල්ලිවලට අයත් දැයි තීරණය කිරීමේ අසීමිත බලය පොලිසියට පැවරීම හරහා නීතිය අවභාවිත වීමේ බරපතළ ප්රවණතාවක් නිර්මාණය වන බවට ද හෙතෙම අනතුරු අඟවයි.
යෝජිත නීතිය යටතේ විනිසුරුවරයෙකුගේ අනුමැතියකින් තොරව මාස දෙකක සිට වසරක් දක්වා පුද්ගලයෙකු රඳවා තබා ගැනීමේ නියෝග නිකුත් කිරීමට අමාත්යාංශ ලේකම්වරයාට හැකියාව ලැබෙන අතර, අධිකරණය හමුවේ ප්රමාණවත් සාක්ෂි නොමැති වුවද අදාළ පුද්ගලයා අනිවාර්යයෙන්ම රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්රාත්වරයාට සිදුවන බව නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයා හෙළිදරව් කරයි. මෙවැනි තත්ත්වයකදී සාමාන්ය පුරවැසියෙකුට ඇප ලබා ගැනීමට සිදු වන්නේ දැඩි පිරිවැයක් සහ සංකීර්ණ ක්රියාවලියක් සහිත මහාධිකරණය හමුවෙන් බව පෙන්වා දෙන ඒ මහතා, සංශෝධිත නීතිය මඟින් පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීමට ඉඩ සැලසීම හරහා බන්ධනාගාර හා පොලිස් අත්අඩංගුව තුළ වධහිංසා පැමිණවීමේ සහ අපයෝජනය කිරීමේ අඳුරු සංස්කෘතියක් නැවත ප්රවර්ධනය වන බවද සඳහන් කරයි.
අතීතයේදී ත්රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීති රෙගුලාසි අවභාවිත කරමින් වැරදිකරුවන් මෙන්ම නිරපරාදිකයන් ද දැඩි පීඩාවට පත්කළ ආකාරය සිහිපත් කරන ජනාධිපති නීතිඥවරයා, මෙම නව පනත හරහා ද ප්රජාතන්ත්රවාදී අයිතීන් දැඩි ලෙස සංකෝචනය වන බව අවධාරණය කරයි. ඉදිරියේදී මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පෙර එහි ඇති ප්රජාතන්ත්ර විරෝධී වගන්ති සංශෝධනය කිරීමට හෝ අහෝසි කිරීමට රජය සහ නීති සම්පාදකයින් කටයුතු නොකළහොත්, එය මෙරට අධිකරණ පද්ධතියේ සහ සාමාන්ය ජනජීවිතයේ ස්වාධීනත්වයට එල්ල වන දැඩි තර්ජනයක් වනු ඇතැයි පාලක සහ වගකිවයුතු පාර්ශ්ව වෙත අවධාරණය කෙරේ.
















