කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ පුද්ගලයන් හාරදහසකට ආසන්න පිරිසකට මරු කැඳවූ ඉබෝලා වසංගතය අසල්වැසි කෙන්යාවටද ව්යාප්ත වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි. මේ වන විට කෙන්යාවෙන් ඉබෝලා වෛරසය ආසාදනය වූ රෝගීන් 9 දෙනෙකු වාර්තා වී ඇති අතර, පසුගියදා කොංගෝ රාජ්යයේ සිට පැමිණ දින කිහිපයකින් ජීවිතක්ෂයට පත් වූ පළමු රෝගියා හරහා මෙම වෛරසය ව්යාප්ත වී ඇති බවට එරට සෞඛ්ය බලධාරීන් සැක පළ කර ඇත. ආසාදිතයන්ගෙන් සිව්දෙනෙකු පළමු රෝගියාගේ ඥාතීන් වන අතර, සෙසු අය අතර සෞඛ්ය සේවකයන් තිදෙනෙකු සහ රෝහල් පිරිසිදු කරන්නෙකු සිටින බව තහවුරු කර තිබේ. පළමු රෝගියාගේ ආසන්නතම සම්බන්ධතා ලෙස හඳුනාගත් පුද්ගලයන් 135 දෙනෙකුගෙන් 134 දෙනෙකුම මේ වන විට පූර්ණ නිරෝධායනයට ලක් කර හුදෙකලා කර ඇති බව කෙන්යාවේ සෞඛ්ය අධ්යක්ෂ ජනරාල් පැට්රික් අමෝත් ප්රකාශ කර ඇත.
රට පුරා වෛරසය ව්යාප්ත වීම පාලනය කිරීම සඳහා එරට රජය සහ සෞඛ්ය අංශ දැඩි පියවර ගෙන ඇති අතර, කොංගෝව, උගන්ඩාව, ටැන්සානියාව සහ රුවන්ඩාව ඇතුළු ඉබෝලා වසංගතයට ඉහළ අවදානමක් පවතින රටවල් 10කින් පැමිණෙන සංචාරකයන් සඳහා ගුවන්තොටුපළේ සහ දේශසීමා පිවිසුම් දොරටුවල විශේෂ ඩිජිටල් පෝරම සහ QR කේත ක්රමයක් හඳුන්වා දී තිබේ. මීට අමතරව, ජාතික රෝහලේ ඉබෝලා පරීක්ෂණ සඳහා වෙන්වූ විශේෂ රසායනාගාරයක් පිහිටුවීමට සහ රට පුරා ප්රතිකාර හා නිරෝධායන මධ්යස්ථාන නම් කිරීමටද බලධාරීන් පියවර ගෙන ඇත.
















