දිවයිනේ දිස්ත්රික්ක 13ක මදුරු කීට ඝනත්වය ඉහළ යාම මුල් කරගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ලබන නොවැම්බර් මස 2 වැනි දා සිට 7 වැනි දා දක්වා ක්රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබේ. රෝගීන් වැඩිවීමට ප්රථම මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දැමීම අරමුණු කරගත් මෙම වැඩසටහන සම්බන්ධයෙන් ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්ය හමුවකදී ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ, වෛද්ය කපිල කන්නංගර මහතා සහ වෛද්ය ප්රශිලා සමරවීර මහත්මිය මේ බව අනාවරණය කළහ.
මෙම වසරේ (2026) මේ දක්වා දිවයින පුරා සමස්ත ඩෙංගු රෝගීන් 104,094ක් වාර්තා වී ඇති අතර, ජනවාරි මාසයේ සිට ඩෙංගු මරණ 79ක් සිදුව තිබේ. කොළඹ දිස්ත්රික්කයෙන් වැඩිම රෝගීන් සංඛ්යාවක් වාර්තා වන අතර, ගම්පහ, නුවර, කළුතර, මාතර, ගාල්ල, රත්නපුර සහ කෑගල්ල ඇතුළු දිස්ත්රික්ක කිහිපයකින්ද වැඩි රෝගීන් ප්රමාණයක් වාර්තා වී ඇත. ඉදිරි ඊසාන දිග මෝසම් සහ අන්තර් මෝසම් වර්ෂා කාලය සමඟ රෝගය පැතිරීම වැළැක්වීම සඳහා ‘ක්ලීන් ශ්රී ලංකා’ ලේකම් කාර්යාලය, ත්රිවිධ හමුදාව, පොලිසිය සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව මෙම විශේෂ මදුරු මර්දන සතිය ක්රියාත්මක කරන අතර, නිවාස, පාසල්, ආගමික ස්ථාන සහ රාජ්ය ආයතන පිරිසිදු කරමින් මදුරු බෝවන ස්ථාන වළලා දැමීමට මහජනතාවගේ පූර්ණ සහයෝගය අත්යවශ්ය බව බලධාරීහු අවධාරණය කර සිටිති.
















