ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බැවින්, අද (22) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ බලධාරීන් දැනුම් දෙයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට (23) පෙරවරු 5.30 දක්වා වලංගු වන පරිදි මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව සඳහන් වේ.
අධික වර්ෂාව හේතුවෙන් හදිසි ගංවතුර, පස් කඩා වැටීම් සහ ගමනාගමන බාධා ඇතිවීමේ අවදානමක් පවතින බැවින්, අදාළ ප්‍රදේශවල ජනතාව සහ රියදුරන් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් අවවාද කරයි.
















