හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ පාලන සමයේදී ඩුමින්ද හුළංගමුව මහතා ඔහුගේ ආර්ථික උපදේශකයෙකු ලෙස කිසිදු අවස්ථාවක සේවය කර නොමැති බව හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී කළ ප්රකාශයකට ප්රතිචාර දක්වමින් හිටපු ජනාධිපති කාර්යාලය මෙම පැහැදිලි කිරීම කර තිබේ.
එම නිවේදනයට අනුව, රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති සහ මුදල් අමාත්යවරයා ලෙස කටයුතු කළ සමයේ ප්රධාන ආර්ථික උපදේශකවරුන් තිදෙනෙකු පමණක් සේවය කර ඇති අතර, හිටපු මහ භාණ්ඩාගාර ලේකම් ආර්.එච්. සමරතුංග, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් එම ධුර දැරූ බව එහි සඳහන් වේ. 2022 ආර්ථික අර්බුදය හමුවේ පත් කරන ලද මෙම නිලධාරීන් ජාත්යන්තර මූල්ය අරමුදල ඇතුළු ප්රධාන දේශීය හා ජාත්යන්තර ආයතන සමඟ සාකච්ඡා සඳහා ශ්රී ලංකාව නියෝජනය කළ බවත්, පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවටද පෙනී සිටි බවත් හිටපු ජනාධිපති කාර්යාලය පවසයි.
කෙසේ වෙතත්, ඩුමින්ද හුළංගමුව මහතා හිටපු ජනාධිපතිවරයාගේ නිල ආර්ථික උපදේශකයෙකු ලෙස කටයුතු කර නොමැති බව අවධාරණය කරන එම නිවේදනය, ඔහු ලංකා වාණිජ මණ්ඩලය නියෝජනය කරමින් රටේ ආර්ථික වර්ධන ක්රමවේදයට දායක වූ තාවකාලික කණ්ඩායමක සාමාජිකයෙකු පමණක් වූ බව වැඩිදුරටත් පෙන්වා දී තිබේ.













