2028 වසර වන විට ජාත්යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීම තුළින් ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක මුදලක් රැස්කර ගැනීමට ශ්රී ලංකාවට හැකිවනු ඇති බවට ජාත්යන්තර මූල්ය අරමුදල පුරෝකථනය කර ඇතත්, ජාත්යන්තර වෙළෙඳපොළට පිවිසෙන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය ගනු ලබන්නේ ශ්රී ලංකා රජය විසින් බව මුදල් හා ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය. ජාත්යන්තර මූල්ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ වන 5 වන සහ 6 වන සමාලෝචන වාර්තාවල 2026 වසර සඳහා ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීමක් පුරෝකථනය කර නොමැති වුවද, 2027 සහ 2028 වසරවලදී ඩොලර් බිලියන 1.5 බැගින් රැස්කිරීමට උපකල්පනය කර ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, මෙම උපකල්පන ජාත්යන්තර මූල්ය අරමුදල විසින් සිදුකරන ලද ඒවා මිස ශ්රී ලංකා බලධාරීන්ගේ නිල පුරෝකථනයන් නොවන බවත්, පවතින ආර්ථික තත්ත්වය ඇගයීමට ලක්කිරීමෙන් අනතුරුව වරින් වර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් රජය සුදුසු තීරණ ගන්නා බවත් නියෝජ්ය අමාත්යවරයා පැවසීය. අනාගත ණය ලබාගැනීම්වලට අමතරව රජයට කෙටිකාලීන විදේශ විනිමය වගකීම් පවතින බව සඳහන් කළ ඔහු, 2026 මැයි අග වන විට පවතින මුදල් හුවමාරු ගිවිසුම් ප්රමාණය ඩොලර් බිලියන 4.1ක් වන අතර, එයින් ඩොලර් බිලියන 1.8ක් ජාත්යන්තර වශයෙන්ද ඩොලර් බිලියන 2.3ක් දේශීය වශයෙන්ද පවතින බව සඳහන් කළේය. දේශීය ස්වැප් ගිවිසුම්වලින් ඩොලර් මිලියන 83ක් හැර ඉතිරි සියල්ල මාස 12ක් ඇතුළත කල්පිරෙන බවද, රාජ්ය ණය කළමනාකරණ කාර්යාලය විසින් රජයේ ණය කළඹේ අවදානම් අවම කිරීම සඳහා වන නීතිමය රාමුව ශක්තිමත් කරමින් වෙළෙඳපොළ තත්ත්වයන් නිරන්තරයෙන් ඇගයීමට ලක්කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.













