දීර්ඝ කාලයක් පාසල් අධ්යාපනයෙන් බැහැරව සිටි දරුවන් 30කට ආසන්න පිරිසක් යළි පාසල් වෙත යොමු කිරීමට කොළඹ ග්රෑන්ඩ්පාස් පොලිසිය මැදිහත් වී තිබේ.
ශ්රී ලංකා පොලිසියට අනුව, බ්ලූමැන්ඩල් සිංහල විද්යාලයේ බලධාරීන්ගෙන් ලැබුණු තොරතුරක් මත මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇත. පොලිස් නිලධාරීන් දරුවන්ගේ නිවෙස් වෙත ගොස් දෙමාපියන් සමඟ සාකච්ඡා කර, අධ්යාපනයේ වැදගත්කම පැහැදිලි කරමින් ඔවුන් යළි පාසල් යොමු කිරීමට කටයුතු කර තිබේ.
සිංහල, දෙමළ සහ මුස්ලිම් ප්රජාවන්ට අයත් දරුවන් මෙම වැඩපිළිවෙළ යටතේ පාසල් වෙත යොමු කර ඇති අතර, ඔවුන්ගේ පාසල් පැමිණීම අධීක්ෂණය කිරීමට ද සැලසුම් කර ඇත. අවශ්යතා අනුව පාසල් පොත්, අධ්යාපනික උපකරණ සහ පෝෂණ සහාය ලබාදීමේ හැකියාව ද සොයා බැලීමට නියමිතය.
ග්රෑන්ඩ්පාස් පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඩබ්. එච්. එන්. කේ. දිසානායක මහතාගේ මඟපෙන්වීම යටතේ ප්රජා පොලිස් අංශය මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක කරයි.














