ප්රංශයේ ජීවන වියදම ඉහළ යාම සහ පාසල්වල පවතින තත්ත්වයන්ට විරෝධය පළ කරමින් රට පුරා සංවිධානය කර ඇති දැවැන්ත විරෝධතා මාලාවක දෙවන අදියර ඔක්තෝබර් 24 වැනිදා ආරම්භ වී තිබේ.
පැරිස් අගනුවර ඇතුළු ප්රධාන නගරවල විරෝධතා පැවැත්වෙන අතර, වෘත්තීය සමිති සාමාජිකයන්, සිසුන්, ගුරුවරුන්, හෙද සේවකයන් සහ පරිසර සංවිධාන නියෝජිතයන් ද ඊට එක්ව සිටින බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
පැරිස් නගරයේ මුලින් සාකච්ඡා කර තිබූ මධ්යම ප්රදේශයේ ගමන් මාර්ගයක් වෙනුවට නගරයේ දකුණු-නැගෙනහිර මායිමට ආසන්න මාර්ගයක විරෝධතාව පැවැත්වීමට බලධාරීන් අවසර දී තිබේ. තවත් කණ්ඩායම් කිහිපයක් සංවිධානය කළ විරෝධතා තහනම් කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් ක්රියාකාරීන් සහ විරෝධතාකරුවන් විවේචන එල්ල කර ඇත.
මේ අතර, විරෝධතා හේතුවෙන් ඇතිවිය හැකි ආරක්ෂක තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් පොලිස් ආරක්ෂාව තර කර තිබේ. පැරිස් නගරයේ මෙට්රෝ දුම්රිය ස්ථාන කිහිපයක් වසා දමා ඇති අතර, ලූවර් කෞතුකාගාරය සහ මියුසේ ඩි ඔර්සේ ඇතුළු ප්රධාන සංස්කෘතික ආයතන ද එදින වසා තැබූ බව වාර්තා වේ.
විරෝධතාකරුවන් ජනාධිපති එමානුවෙල් මැක්රොන්ගේ රජයට විරෝධය පළ කරමින් විවිධ සටන් පාඨ ඉදිරිපත් කර ඇති අතර, ඇතැම් විරෝධතා මාර්ග සහ රැස්වීම් තහනම් කිරීම පිළිබඳව ද විවාදයක් මතුව තිබේ.
















