කතෝලික පල්ලියේ පූජකවරුන්ගේ ලිංගික අපයෝජනවලට ලක්වූ පුද්ගලයන් හමුවීමට පාප් වහන්සේ වන ලියෝ XIV සූදානම් වන බව වතිකානය නිවේදනය කර තිබේ.
ඒ අනුව, නොවැම්බර් 6 සිට 17 දක්වා සිදු කිරීමට නියමිත දකුණු ඇමරිකානු සංචාරයේදී උරුගුවේ, ආර්ජන්ටිනාව සහ පේරු යන රටවල සංචාරය කරන අතරතුර මෙම හමුවීම් පැවැත්වීමට සැලසුම් කර ඇත.
වතිකානය සඳහන් කළේ, පූජකවරුන් සහ පල්ලියේ සාමාජිකයන් විසින් සිදු කළ අපයෝජන හේතුවෙන් පීඩාවට පත්වූ පුද්ගලයන්ට සහාය දැක්වීම සහ ඔවුන් සමඟ සමීපව කටයුතු කිරීමට පාප් වහන්සේ තුළ ඇති කැමැත්ත මෙම හමුවීම්වලින් පිළිබිඹු වන බවයි.
71 හැවිරිදි පාප් වහන්සේ මීට පෙර ද විදේශ සංචාර කිහිපයකදී අපයෝජනවලින් දිවි ගලවාගත් පුද්ගලයන් හමුවී තිබේ. පසුගිය මාසයේ ප්රංශයේදී පැවති හමුවකදී ඔහු එවැනි පුද්ගලයන් හත්දෙනෙකු සමඟ පැය දෙකක පමණ කාලයක් සාකච්ඡා කර තිබූ බව වතිකානය සඳහන් කර ඇත.
පේරු රාජ්යයේ දශක ගණනාවක් මිෂනාරිවරයෙකු සහ බිෂොප්වරයෙකු ලෙස සේවය කර ඇති පාප් වහන්සේගේ මෙම සංචාරය, දශක කිහිපයකින් පාප්වරයෙකු සිදු කරන වඩාත් කාර්යබහුල විදේශ සංචාර අතරට එක්වනු ඇතැයි Reuters වාර්තා කරයි.
















