රජය විසින් ඉදිරිපත් කිරීමට සූදානම් වන යෝජිත ත්රස්තවාදයට විරෝධී පනත් කෙටුම්පත (PSTA) නීතිගත කළහොත් මෙරට මාධ්ය නිදහස සම්පූර්ණයෙන්ම අහෝසි වී කතුවරුන්, නිවේදකයින් ඇතුළු සමස්ත මාධ්ය ක්ෂේත්රයම දැඩි තර්ජනයකට ලක්වන බව හිටපු අමාත්ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අවධාරණය කරයි. කොළඹ පැවති ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරයා පෙන්වා දුන්නේ, මෙම පනත ක්රියාත්මක වීම හරහා පුරවැසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය අහෝසි වන අතරම රට තුළ ඒකාධිපති පාලන ව්යුහයක් නිර්මාණය වීමේ බරපතළ අවදානමක් පවතින බවයි.
අතීතයේ සිදුවූ රුපියල් කෝටි 1,576ක ගල් අඟුරු වංචාව සහ රුපියල් බිලියන 2.5ක පාඩුවක් සිදුකළ කන්ටේනර් 340ක් අතුරුදන් වීමේ සිදුවීම වැනි දැවැන්ත රාජ්ය මූල්ය දූෂණ හෙළිදරව් කළේ නිර්භීත මාධ්යවේදීන් බව පෙන්වා දුන් මහාචාර්යවරයා, යෝජිත පනත මඟින් එවැනි තොරතුරු ලබාදෙන රහසිගත මූලාශ්ර හෙළිදරව් කිරීම මාධ්යවේදීන්ට අනිවාර්ය කර ඇති බව හෙළි කළේය. යම් හෙයකින් එම මූලාශ්ර ආරක්ෂා කරමින් තොරතුරු ලබාදීම ප්රතික්ෂේප කළහොත් එය බරපතළ සාපරාධී වරදක් ලෙස සැලකෙන අතර, අධිකරණ නියෝගයකින් තොරව යම් ස්ථානයක් ‘තහනම් ස්ථානයක්’ ලෙස ප්රකාශයට පත්කිරීමේ ඒකාධිපති බලය ආරක්ෂක ලේකම්වරයා වෙත පවරා දීමෙන් සාමාන්ය වැසියන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් පවා දැඩි ලෙස අඩපණ වන බව හෙතෙම සඳහන් කළේය.
සාමාන්ය පොලිස් බලතල සන්නද්ධ හමුදා වෙත පැවරීම සහ අමාත්යවරයාටම වාර්තා කරන දේශපාලනික අධීක්ෂණ කමිටු පත්කිරීම හරහා රට ප්රජාතන්ත්රවාදී මාවතෙන් ඉවත් කර පොලිස් රාජ්යයක් දෙසට මෙහෙයවන බවට හිටපු අමාත්යවරයා චෝදනා කරයි. මෙම කෙටුම්පත වත්මන් ස්වරූපයෙන්ම සම්මත වුවහොත් මෙරට මාධ්යවේදීන්ගේ වෘත්තීය නිදහස අහෝසි වී ජාතික විනිවිදභාවය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනු ඇති අතර, ඉදිරියේදී ඊට එරෙහිව ප්රජාතන්ත්රවාදී සහ නීතිමය ක්රියාමාර්ග ගනිමින් සිවිල් සංවිධාන සහ මාධ්ය ප්රජාව සමඟ අත්වැල් බැඳගැනීමට විපක්ෂය සූදානම් වන බව පෙනී යයි.
















