පසුගිය සැප්තැම්බර් මාසයේදී ගුවන් යානයක් තුළ මතුවූ බව කියන ත්රස්ත තර්ජනයක් හමුවේ ක්ෂණිකව ක්රියාත්මක වෙමින් විශාල අනතුරක් වළක්වා ගැනීමට දායක වූ ඉන්දීය ගුවන් නියමුවෙකු වන කැප්ටන් ස්මිත් මච්චාර් ඇතුළු ෆ්ලයි ඩුබායි (flydubai) ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට එක්සත් අරාබි එමීර් රාජ්යයෙන් ඉහළම ගෞරව සම්මානයක් පිරිනමා තිබේ.
ගුවන් මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැක්වූ කැපවීම ඇගයීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් විසින් මෙම පිරිසට ‘පළමු පන්තියේ සයීඩ් II සම්මානය’ පිරිනමා ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
මෙම සම්මාන ප්රදානෝත්සවයේදී ඩුබායි ඔටුන්න හිමි කුමරු මෙන්ම නියෝජ්ය අග්රාමාත්ය සහ ආරක්ෂක අමාත්යවරයා වන ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්තූම් විසින් සම්මාන පිරිනමා තිබේ.
අභියෝගාත්මක අවස්ථාවේදී මගීන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට කාර්ය මණ්ඩලය දැක්වූ වගකීම් සහගත ක්රියාකලාපය සහ වෘත්තීය කැපවීම ෂෙයික් හම්දාන් කුමරුගේ ඇගයීමට ලක්ව ඇත. මහජන ආරක්ෂාව වෙනුවෙන් නිර්භීතව කටයුතු කරන පුද්ගලයන් ඇගයීම එමීර් රාජ්යයේ නායකත්වයේ පිළිවෙතක් බවද ඔහු සඳහන් කර ඇතැයි වාර්තා වේ.
සම්මානය ලැබීමෙන් අනතුරුව කාර්ය මණ්ඩලය එක්සත් අරාබි එමීර් රාජ්යයේ ජනාධිපතිවරයා ඇතුළු නායකත්වයට ස්තූතිය පළ කර ඇති අතර, මෙම සම්මානය තමන්ට මහත් අභිමානයක් බව ප්රකාශ කර තිබේ.
















