මෙරට LP ගෑස් සැපයුමට ඇතිවී තිබෙන බාධාකාරී තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කරමින් දිවයින පුරා අඛණ්ඩව ගෑස් බෙදාහැරීම සහතික කිරීමට අවශ්ය පියවර ගෙන ඇති බව ලිට්රෝ සමාගම පවසයි.
ඒ අනුව, LP ගෑස් මෙට්රික් ටොන් 3,000ක පමණ තොගයක් රැගත් FRANCOIS නෞකාව ඔක්තෝබර් 27 වැනිදා ශ්රී ලංකාවට ළඟා වී ඇති අතර, එහි ගෑස් ගොඩබෑමේ කටයුතු ද එදිනම ආරම්භ කර තිබේ. තවත් LP ගෑස් මෙට්රික් ටොන් 3,900ක පමණ තොගයක් රැගත් නෞකාවක් ඔක්තෝබර් 31 වැනිදා දිවයිනට ළඟා වීමට නියමිත බව වාර්තා වේ.
ඔක්තෝබර් 23 වැනිදා සිට 27 වැනිදා දක්වා කාලය තුළ දිනකට කිලෝග්රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩර 90,000ත් 100,000ත් අතර ප්රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට ලිට්රෝ සමාගම කටයුතු කර තිබේ. එය දෛනික වෙළෙඳපොළ අවශ්යතාව වන සිලින්ඩර 74,000ක පමණ ප්රමාණය ඉක්මවා යාමකි.
සාමාන්යයෙන් දිනකට LP ගෑස් මෙට්රික් ටොන් 1,150ක් පමණ වෙළෙඳපොළට සපයන ලිට්රෝ සමාගමට මේ වන විට ඇති ඉල්ලුම මෙට්රික් ටොන් 1,650ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ලාෆ්ස් ගෑස් සමාගමේ සැපයුම් ජාලයේ ඇතිවී තිබෙන බිඳවැටීම ද ලිට්රෝ ගෑස් සඳහා ඉල්ලුම ඉහළ යාමට හේතුවක් වී තිබේ.
පවතින අධික ඉල්ලුම හමුවේ වුවද ගෑස් සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්ය ක්රියාමාර්ග අඛණ්ඩව ගනිමින් සිටින බව ලිට්රෝ සමාගමේ ආරංචි මාර්ග සඳහන් කරයි. වෙළෙඳපොළ තත්ත්වය පාලනය කිරීම සඳහා රජය ද මැදිහත්ව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.















