උතුරු මැද පළාතේ තරුණ තරුණියන්ට උසස් වෘත්තීය අධ්යාපන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් පොළොන්නරුව, කදුරුවෙල ප්රදේශයේ පිහිටි අර්ධ වශයෙන් ඉදිකළ ගොඩනැගිලි යොදාගෙන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්යාලයක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කරයි.
වෘත්තීය අධ්යාපන අමාත්යාංශය සඳහන් කළේ, මේ සඳහා අදාළ ගොඩනැගිලි අමාත්යාංශයට පවරා ගැනීමේ හැකියාව පිළිබඳව සොයා බැලීමට පොළොන්නරුව දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී ස්ථාන පරීක්ෂාවක් සහ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවයි.
ත්රෛභාෂා පාසලක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජයේ සහාය ඇතිව ආරම්භ කළ මෙම ගොඩනැගිලි පසුව ශ්රී ලංකා රජයට භාරදී තිබේ.
වෘත්තීය අධ්යාපන නියෝජ්ය අමාත්ය නලින් හේවගේ මහතාගේ ප්රධානත්වයෙන් පැවති සාකච්ඡාවට කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා, ජල සම්පාදන නියෝජ්ය අමාත්ය ටී.බී. සරත් මහතා, පාර්ලිමේන්තු මන්ත්රී පද්මසිරි බණ්ඩාර මහතා, පොළොන්නරුව දිස්ත්රික් ලේකම් සුධන්ත ඒකනායක මහතා ඇතුළු රාජ්ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
එහිදී ගොඩනැගිලිවල වත්මන් තත්ත්වය, වෘත්තීය අධ්යාපන කටයුතු සඳහා ඒවායේ යෝග්යතාව සහ උතුරු මැද පළාතේ තරුණ තරුණියන්ට උසස් අධ්යාපන අවස්ථා පුළුල් කිරීමේ අවශ්යතාව පිළිබඳව සාකච්ඡා කර තිබේ.
සාකච්ඡාවෙන් අනතුරුව, අදාළ ගොඩනැගිලි වෘත්තීය අධ්යාපන අමාත්යාංශයට පවරාගෙන යෝජිත විශ්වවිද්යාලය පිහිටුවීම සඳහා අවශ්ය ඉදිරි පියවර ගැනීමට සියලු පාර්ශ්ව එකඟ වී ඇත.
පළාත් නවයම ආවරණය වන පරිදි වෘත්තීය තාක්ෂණ විශ්වවිද්යාල පිහිටුවීමේ පුළුල් වැඩපිළිවෙළක කොටසක් ලෙස මෙම සැලසුම ක්රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. ඒ ඔස්සේ වෘත්තීය පුහුණුවේ සිට උපාධි මට්ටම දක්වා අධ්යාපනය ලැබීමට සිසුන්ට අවස්ථාව සැලසීමත්, ශ්රම වෙළෙඳපොළේ අවශ්යතා සපුරාලිය හැකි පුහුණු ශ්රම බලකායක් බිහිකිරීමත් අරමුණු කර තිබේ.
















