දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා අද (28) නියෝග කළේය.
ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර තිබේ. ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමටත්, නඩුවට අදාළ සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසත් අධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.
අම්පාර දිස්ත්රික්කයේ සාපුර ප්රදේශයේ ඉඩමක් සහ එහි පිහිටි ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් නියමිත ක්රමවේද අනුගමනය නොකර කටයුතු කිරීමෙන් රජයට රුපියල් 5,100,000ක පාඩුවක් සිදුකළ බවට සැකකරුට එරෙහිව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.
අදාළ ඉඩම හා ගොඩනැගිල්ල ජාතික තරුණ සේවා සභාවට බදු පදනමින් ලබාගැනීම සඳහා තුන්වන පාර්ශ්වයකට රුපියල් ලක්ෂ 38ක් ගෙවා ඇති බවත්, අධ්යක්ෂ මණ්ඩලයේ විධිමත් අනුමැතියකින් තොරව ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම සඳහා තවත් රුපියල් ලක්ෂ 13ක් වැය කර ඇති බවත් අල්ලස් කොමිසම සඳහන් කර ඇත.
අල්ලස් කොමිසම සැකකරුට ඇප ලබාදීමට විරෝධය පළ කළ අතර, සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්රතිස්ස මහතා ඇප ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
















