අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සේවය කරනු ලබන හෙද කාර්ය මණ්ඩලයට රුපියල් මිලියන 15 ක පමණ වටිනාකමකින් යුතු පරිත්‍යාගයක් ලෙස ලැබුණු අංග සම්පූර්ණ නව හෙද නේවාසිකාගාරය රෝහල වෙත ප්රදානය කිරිම අද දින (08) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.
එය වර්ග අඩි 3300 ක බිම් ප්‍රමාණයක, කාමර 16 කින් යුතු මෙම හෙද නේවාසිකාගාරය තුල හෙද නිලධාරින් 32 කට නේවාසික පහසුකම් සළසා ගත හැක. ගෘහ භාණ්ඩ ඇතුලු අනෙකුත් සියළු පහසුකම් වලින් ද මෙම හෙද නේවාසිකාගාරය යුක්ත වේ.
COVID-19 ගෝලීය වසංගතය ශ්‍රී ලංකාවේ ද ආසාදනය වන අවස්ථාවේ ඊට මුහුණදිම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිවනු ලැබූ COVID-19 වසංගත පාලන කාර්ය සාධන බලකායේ රැස්විමක දී අංගොඩ බෝවන රෝග විද්‍යායතනය වෙත හෙද නේවාසිකාගාරයක අවශ්‍යතාව මතු වූ මොහොතේ ඒ සදහා අවශ්‍ය පහසුකම් ලබාදීමට එම බලකායේ සාමාජික හිටපු යුධ හමුදාපති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් සභාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ මැදිහත් වන ලදි.
ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි කොළඹ රාජකීය විද්‍යාලීය ආදි ශිෂ්‍යයින්ගේ East Cost පදනමේ ලේකම් සේනක සෙනෙවිරත්න මහතාගේ සම්බන්ධීකරණයෙන් එම සංගමයේ සභාපති වෛද්‍ය සුකුමාර් නාගේන්ද්‍රන් මහතාගේ රුපියල් මිලියන 15 ක මූල්‍ය ප්රදානය මත මෙම අංග සම්පූර්ණ හෙද නේවාසිකාගාරය ඉදිකිරිමට පියවර ගෙවන ඇත. මේ සදහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්යක්ෂ (තාක්ෂණ) සුසන්ත අබේසිරිවර්ධන මහතා ඇතුලු එම කණ්ඩායමේ පූර්ණ තාක්ෂණික දායකත්වය ද එහි ප්‍රධාන ඉංජිනේරු (සිවිල්) සමන් දේවප්‍රිය මහතා ඇතුලු වඩු කර්මාන්ත ශාලාවේ සේවක මහතුන්ගේ පූර්ණ දායකත්වය ද සපයා ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ නියෝගය පරිදි එයාර් වයිස් මාර්ෂල් රුචිර සමරසිංහ සහ වින්ග් කමාන්ඩර් ක්‍රිෂාන්ත හේවාපතිරණ ඇතුළු වීරෝධාර ගුවන් විරුවන්ගේ ශ්‍රම දායකත්වය ද මෙම නේවාසිකාගාරය ඉදිකිරිම සදහා ලබාදෙන ලදි. ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු LHP Eco පුද්ගලික සමාගම විසින් සිදු කර ඇත.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් භද්‍රාණි ජයවර්ධන මහත්මිය, හෙද අධ්‍යක්ෂිකා (වෛද්‍ය සේවා) එම්.බී.සී සමන්මලී මහත්මිය, හිටපු යුධ හමුදාපති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා, ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් එයාර් වයිස් මාර්ෂල් රුචිර සමරසිංහ මහතා, East Cost පදනමේ සභාපති වෛද්‍ය සුකුමාර් නාගේන්ද්‍රන් මහතාගේ පවුලේ සාමාජිකයින්, අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ අධ්යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
දිලිනි සමන්මලි