මූල්‍ය ආයතනයක යම් අක්‍රමිකතාවක් සිදු වන්නේ නම් තැන්පත්කරුවන් ආරක්ෂා කිරීමට මහ බැංකුව බැඳී සිටීය යුතු අතර එය මහ බැංකුවෙන් ඉටුවී නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ETI මූල්‍ය ආයතනයේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා විමර්ශනය සඳහා පත්කෙරුණු කමිටුව අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී හමු වු අවස්ථාවේදිය.
ETI මූල්‍ය සමාගම ආරම්භයේ සිටම විධිමත් ලෙස ක්‍රියා කර නැති බව ඕව්හු ජනාධිපතිවරයා වෙත මෙහිදී දැනුම් දී තිබේ. සමාගමේ වත්කම් වෙනත් ආයතනවල ආයෝජනය කර තිබේ. ඒවා මහ බැංකුවේ නිසි අධීක්ෂණයට ලක්වී නැති බව කමිටුව සඳහන් කරයි.
අක්‍රමිකතා පිළිබඳව තවදුරටත් සොයා බලන්නැයි උපදෙස් දුන් ජනාධිපතිතුමා ජනතාවගේ තැන්පතු මුදල් කඩිනමින් ආපසු ගෙවීමට වැඩි අවධානය යොමු කරන ලෙස දැනුම් දුන්නේය. සිදුව ඇති ක්‍රියාවලිය පිළිබඳ වගකීමෙන් නිදහස් වීමට මහ බැංකුවට නොහැකි බව ජනාධිපතිවරයා පැවසීය.
මූල්‍ය ආයතනයක යම් අක්‍රමිකතාවක් සිදු වන්නේ නම් තැන්පත්කරුවන් ආරක්ෂා කිරීමට මහ බැංකුව බැඳී සිටී. එය මහ බැංකුවෙන් ඉටුවී නැතැයි ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය.
විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිත්වය දරයි. විශ්‍රාමික සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් සහ ජ්‍යෙෂ්ඨ බැංකුකරුවෙකු වන ඩී.එම්. ගුණසේකර මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද සාකච්ඡාවට එක්ව සිටියේය.