මාගම්පුර ලංකා කර්මාන්ත පුරයේ ඉදිකෙරුණු මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව වන “ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්” ආයතනයේ නිෂ්පාදන කටයුතු අද (07) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉදිකිරීමට යෝජිත නව වානේ කර්මාන්ත ශාලාව සඳහා ද මුල්ගල් තැබූහ. අක්කර 250ක භූමියක ඉදිවෙන නව වානේ කර්මාන්ත ශාලාව සඳහා ආයෝජනය කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 400කි. මෙහි නිෂ්පාදන ක්‍රියාවලිය 2024 අග බාගයේ ඇරඹීමට නියමිතය.
නව සිමෙන්ති කර්මාන්තශාලාව විවෘත කරමින් සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කර්මාන්තශාලා පරිශ්‍රය නිරීක්ෂණය කළහ.
කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් පාලන ආයතනවල නියෝජිතයෝ, රාජ්‍ය නිලධාරීහු, ලංවා ආයතනයේ නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.