27 April 2024
#දේශීය

හෙද වෘත්තිකයන් බිහිකිරීමට හෙද විශ්වවිද්‍යාලයක් ආරම්භ කල යුතුයි – ඇමැති කෙහෙලිය කියයි

ඉහළ නිපුණතාවයකින් යුතු ජාත්‍යන්තරික වශයෙන් තරඟකාරී මට්ටමක හෙද වෘත්තිකයන් මෙරට බිහිකිරීමේ අරමුණින් ආරම්භ කිරීමට යෝජිත හෙද විශ්ව විද්‍යාලයේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු වියයුතු බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශයන්හි නිලධාරීන් සමඟ අද (7) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙම රාජ්‍ය විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට සැලැසුම් කර තිබේ. මේ අතර මේ වන විට මෙරට විශ්ව විද්‍යාල 05 ක සම සෞඛ්‍ය පීඨ ලෙසින් මෙන්ම එක් විශ්ව විද්‍යාලයක හෙද පීඨය ලෙසින් හෙද උපාධි පාඨමාලා හැදෑරීමට විශ්ව විද්‍යාල 06 ක අවකාශ සැලසී තිබේ. එයට අමතරව මෙරට හෙද විදුහල් 17 ක් ක්‍රියාත්මක කරමින් ආධුනික හෙද හෙදියන් සඳහා පුහුණුව ලබාදීම සිදු කෙරේ.

යෝජිත හෙද විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීම පිළිබඳව සකස් කෙරෙන කෙටුම්පත ඉතා කඩිනමින් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට මෙහිදී උපදෙස් ලබාදුන්නේය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මුරුත්තෙටටුවේ ආනන්ද නාහිමියන්ද මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ , අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල්ද අල්විස් , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *