රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජනාධිපතිවරයා කතා කළේ මීට අවුරුදු 20කටත් කලින්, ඒ නිසා ම එතුමව බලයෙන් පහ කරන්නත් අපි කටයුතු කළ බවත් අපි ඒ ගැන දැන් කතා කරද්දි එතුමාට හිනා යනවත් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ “IMF සහ ඉන් ඔබ්බට” මැයෙන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් කොළඹ ගාලු මුවදොර හෝටලයේ පසුගිය දා සංවිධානය කළ සාකච්ඡා මණ්ඩපය අමතමිනි.
එහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කළ සම්පූර්ණ කතාව පහත පරිදි වේ.
IMF සහ ඉන් ඔබ්බට යන්න ප්‍රථම ඇයි අපිට මෙහෙම වුනේ කියලා වචන කිහිපයක් කතා කළ යුතුයි. ඇයි අපිට මෙහෙම වුනේ. අපි ද්විත්ව හිඟයක් සමඟ කාලයක් ගමන් කළා. මේ හිඟය අඩුකිරීමට සමහර යුගවලදී යම් යම් දේ කළා, සමහර යුගවලදී ඒ ගැන සැළකුවේ නැහැ. අපට රාජ්‍ය ආදායම සහ වියදම අතර හිඟයක් දිගින් දිගටම ආවා.
ඔබතුමාලා දන්නවා, ආදායම සහ වියදම අතර ආදායම සහ පොලී නොවන රාජ්‍ය වියදම අතර වර්ධනාත්මක වෙනසක් ඇති කරනු ලැබුවා. ගෙවුම් ශේෂයේ පැත්තෙන් බැලුවත් ඒ වගේමයි. කාලයක් තිස්සේ අපට ලැබුණු දේ සහ අපි වියදම් කළ දේ අතර ලොකු වෙනසක් වර්ධනය වුණා. අපි ණය අරගෙන මේක පියව ගත්තා.ණය අරගෙන සුවිශාල යටිතල පහසුකම් සංවර්ධනයක් කළා. හැබැයි ඉන් අපට ඩොලර් ඉපයීම විදේශ විනිමය ඉපයීම අපට අවශ්‍ය තරම් රටේ තිබුණේ නැහැ. කලක් ගත වන දීර්ඝ ඉපැයීම් වෙනුවෙන් තමයි අපි වියදම් කළේ. අපි නැවතත් ණය ගත්තා. නැවතත් ණය අරගෙන මේ පියවීම කරනු ලැබුවා. ණය තොගය සුවිශාල ගණනකට ආවා. දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට එකසිය අටක් විතර ණය ගත්තා.
එක් යුගයකදී අපි නොසිතූ විරූ ප්‍රශ්න කිහිපයකට මුහුණ දුන්නා. පාස්කු සිද්ධිය ඇති වුණා. විදේශ විනිමය උපයන ප්‍රධානතම කර්මාන්තය වන සංචාරක ව්‍යාපාරය බිඳ වැටුණා. 2018 ලක්ෂ විසිතුනක් ආපු සංචාරකයෝ 2022 වෙද්දී ලක්ෂ 2 ට අඩු වුණා. කොවිඩ් ආවා. දින සිය ගණනක් රට වහලා දාන්න සිද්ධ වුණා. ලෝක ආර්ථික ප්‍රශ්නත් ආවා. ඒ වගේම බලාපොරොත්තු හෝ පලයන් නොලැබුණ ආර්ථිකමය තීන්දු කිහිපයක් අපි ගත්තා. ලක්ෂ දාහතක් වෙච්චි බදු ගොනු සංඛ්‍යාව ලක්ෂ 5 කින් පහතට ආවා. අපි අද මේ බොහෝ විට කතා බහ කරන උපයන විට ගෙවීම අවම තත්වයකට ආවා. ඒ වගේම අපේ පොහොර ප්‍රතිපත්තිය මේ රටේ ප්‍රධානතම නිෂ්පාදන සමඟ ගැටුමක් ඇති වුණා. 2022 වසරට යනකොට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 8.2%ක් දක්වා අඩුම තැනකට ගොනු වුණා. මේක ඉතාමත් ප්‍රශ්නකාරී තත්වයක්.
හැම විටකම අපේ ණය තොගය කළමනාකරණය කර ගත්තේ තවත් ණයක් අරගෙන. ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් අපේ ණය හිමියන්ට දැන් ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කිරීම ගැන දෙවරක් හිතන්න කියලා අවවාද කළා. අපට ප්‍රශ්නයක් ඇති වුණා. අපි ළඟ රුපියලුත් නැහැ. ඩොලරුත් නැහැ. ආදායම දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව අටයි දශම දෙකයි. නමුත් වියදම සීයට විස්සයි. සියයට දොළහක වෙනසක්. මේ වෙනස අපි සෙවිය යුතුයි. ණයට දෙන්න කෙනෙකුත් නැහැ. අපිට දේශීය වශයෙනුත් මුදල් නෑ. විදේශීය වශයෙනුත් මුදල් නැහැ. අපේ රටේ ලොකු භාණ්ඩ හිඟයක් ඇති වුණා. ඔබතුමාලට මතක ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ ගන්න ස්ථානවල දිගු පෝලිම්. කිලෝමීටර් ගණන් දිගු පෝලිම් දක්නට ලැබුණා.ලොකු උද්ඝෝෂණයක් ඇති වුණා. සංචිත ඍණ අගයකට ආවා. මහ බැංකුවට කියන්න සිදු වුණා අපි තාවකාලිකව විදේශ ණය ගෙවීම නවත්වනවා කියලා. අපිට තව එක පඩියයි වැටෙන්න තිබුනේ. ඒ් ණය නොගෙවා ඉන්න තැනට. නමුත් ඒ දැනුම් දීම මහ බැංකුව කළා. ඉන්පස්සේ අපිට යන්න තිබුණෙ එකම තැනයි. පක්ෂ විපක්ෂ දේශපාලන භේදයකින් තොරව අපි හැම කෙනෙක්ම පිළිගත්තා අපිට යන්න තිබුනෙ IMF එකට කියල. අපි ගියා. අපි දහසය වතාවක් ඔවුන් සමඟ ගනුදෙනු කරලා තිබුණා. ඒ් දහසය වතාවෙම අපි එතෙන්ට ගියෙ අවශ්‍ය මොහොතේ. නමුත් මේ වතාවේ අපිට යන්න වුණේ ණය නොගෙවන රටක් විදිහට. හැබැයි මේ වතාවේ අපිට යන්න වුණේ බුන්වත් රටක් විදිහට. අපිට ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඔවුන් මූලික එකඟතාව දුන්නා. ඒ අනුව අපේ ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ සාකච්ඡා කරලා ප්‍රතිව්‍යුහගතකරණයට එකඟතාවය පළ කරන්න අපට සිදුවුණා. ඒක ලොකු අභියෝගයක්. ජනාධිපතිතුමා ඒකට සුවිශේෂී නායකත්වයක් දුන්නා. අපේ රටේ සාමාන්‍ය ජනතාව රතිඤ්ඤා පත්තු කරලා ප්‍රීති වෙන තැනකට ආවා. ඔවුන් ඒ ජයග්‍රහණය දැක්ක විදිහ ඒ.
දැන් අප ඉදිරියේ අභියෝග රාශියක් තියෙනවා. ඒ ඔස්සේ තමයි අපට ඉස්සරහට යන්න වෙන්නෙ. අපි දහසය වතාවක් IMF අරමුදල සමඟ කටයුතු කළා. ඒ දහසය වතාවෙම ඇතිකරගත් එකඟතා ආරක්ෂා කරන්න අපිට බැරි වුණා. අපට ජනප්‍රිය කරුණු එක්ක ගොනුවෙන්න සිද්ධ වුණා. මැතිවරණයන් වෙනුවෙන් වෙන්න පුළුවන්. වගකීම නොගැනීම වෙන්න පුළුවන්.
දැන් අපිට තියෙන්නෙ ඊට වඩා වෙනස් අභියෝගයක්. අපි ඉන්න තැනක් ගැනත් අපි දන්නවා. IMF එකත් අපි ගැන දන්නවා. අපි මෙතෙක් ගත් ක්‍රියාමාර්ගත් එක්ක වැඩි සොයා බැලීමක් කළ යුතුයි.එහි වරදක් නැහැ. මීට සමගාමීව ක්‍රියාත්මක කළයුතු කරුණු ගණනාවක් තිබුණා. උද්ධමනය පාලනය කළ යුතුයි. ඒක අපි දන්නවා. ආහාර උද්ධමනය සියයට 90 ඉක්මවා ගියා. අඩු ආදායම්ලාභී ජනතාව ඉතාම අසරණභාවයට පත් වුණා. සාමාන්‍ය උද්ධමනය සියයට හැත්තෑවකට ආවා. ඉතින් අපිට මේක පාලනය කරන්න අවශ්‍ය වුණා. එක්කෝ අපිට රට තුළ භාණ්ඩ සුලබ කරන්න ඕන.එහෙම නැත්නම් භාණ්ඩ ආනයනය කරන්න ඕනෙ.මේ දෙකම අපට බැහැ. අපට ඒක කෙටි මාර්ගයක් තිබුණ. ඒ තමයි බැංකු පොලී ඉහළ දැමීම. ඒක ඉතා අසීරුයි කියලා ඔබතුමාලා දන්නවා. ඔබතුමාලගේ වියදම් සැලැස්මේ ණය සඳහා වන පොලිය එක්වරම වැඩි වුණා. ඒත් මහ බැංකුවට ගන්න වෙනත් කිසිම පියවරක් තිබුණේ නැහැ.අපි දැක්කා ඒ පියවරත් එක්ක උද්ධමනය අඩු වෙනවා.සෑහෙන පාලනයකට ලක් වුණා. අපි තවදුරටත් යම් කාලයක් මේ විදිහට යන්න ඕනේ. රාජ්‍ය ආදායම වැඩිකර ගත යුතුයි.රාජ්‍ය ආදායම වැඩි කිරීමේදී ප්‍රශ්න දෙකක් තිබුණා. ඒ තමයි අපි වක්‍ර බදුවලින් මේ විදිහට ඉස්සරහට යනව ද ඍජු බදු අය කරනව ද කියන එක. අපි උපයන විට බද්දට නැවත ක්‍රියාත්මක කළා. යම් ප්‍රතිශතයක් වැඩි කළා.
අපි මතක් කරන්න ඕන මේ සියල්ල මැද්දේ අපෙන් ගිලිහී යන ආදායමකුත් තියෙනවා. සමහර විට උපක්‍රමශීලීව නොගෙවා ඉන්නවා. එහෙම නැත්නම් විවිධ හේතු නිසා ගිලිහෙනවා. ඔබට ලොකු වගකීමක් දැන් පැවරිලා තියෙනවා. අපි මේ යෙදෙන්නේ ජාතික ව්‍යායාමයක. එය සාර්ථක කරගැනීමට අපට සිදු වුණා විදුලිබල මණ්ඩලය වගේ ආයතන පාඩු නොලබන මට්ටමකට රැගෙන එන්න. තෙල් මිල ගණන් වෙනස් කරන්න. විදුලි බල මණ්ඩලේ වගේ ආයතනයක් මෙතෙක් කල් තිබුණේ සුබසාධන ආයතනයක් විදිහට. මමත් කාලයක් අමාත්‍ය ධුරය දැරුවා. ඒ වෙද්දිත් නිෂ්පාදන වියදම ඒකකයට රුපියල් දහසයක්. අලෙවි කළේ රුපියල් හතරකට විස්තර. වැඩි කරන්න ගියාමත් වුණ ගැටලුව තමයි සුළු පරිභෝගිකයට තමයි මේ ගැටලු මතුවෙන්නේ. මේ තීරණ ජනප්‍රිය නැහැ. නමුත් ඒ තීන්දුව ගන්න සිද්ධ වුණා.
නිදහස ලබා ගත් දා සිට සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කළා. තාමත් අපට ඒකෙ කෙළවර දකින්න බැහැ. මේ සැරේ අපිට ලොකු වගකීමක් තියෙනවා අවශ්‍යම කෙනාට සමාජ ආරක්ෂණය ලබාදෙන්න. පවුල් ලක්ෂ තිස් හතක් ආධාර ඉල්ලලා තියෙනවා. මේ මිනිස්සුන්ගෙන් හරියාකාරව කාටද ආධාර දෙන්න කියලා තෝරාගන්න අපිට වගකීමක් තියෙනවා.තෝරගන්න ගියහම ඒ වගකීම ගන්න බැහැ කියලා අදාළ නිලධාරීන් කියනවා. මේවා අපි මුහුණ දෙන අභියෝග.
ඉදිරියට තව කාරණා රාශියක් තියෙනවා.එකක් තමයි මහ බැංකු ස්වාධීන කිරීම.ඒක ඔබතුමාල කවුරුත් පිළිගන්නවා. දැන් පනත පාර්ලිමේන්තුව ගෙනත් තියෙනවා.ඒ්කට අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා මුදල් මණ්ඩලය වාඩි වෙන්නේ නැහැ. අපට අවශ්‍ය විධියට මුදල් මුද්‍රණය කරන්න බැහැ. ශක්තිමත් දූෂණ මර්ධන පනතකුත් ගේනවා.
අනිත් කාරණාව තමයි රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීම. ලාභ ලබන සහ ලාභ නොලබන කියලා ආයතනයක් කොටස් දෙකක් තියෙනවා. ලාභ නොලබන ආයතන ගැන බොහෝ දෙනා හිත හදාගෙන ඉන්නේ. අපි වාර්ෂිකව රුපියල් බිලියන හාර සීයක් විතර වියදම් කරලා රාජ්‍ය ආයතන ගණනාවක් රැක ගෙන ආවා. ඔබේ බදු මුදලින් තමයි මේවා නඩත්තු වුණේ. අපි අධ්‍යාපනයට වියදම් කරන්නේ රුපියල් බිලියන 600 – 700. ඒකෙන් බාගෙකට වඩා වියදම් කරනවා පාඩු ලබන රාජ්‍ය ආයතන වෙනුවෙන්. මෙම ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුයි කියලා සමාජයේ දැන් පිළිගැනීමක් ඇතිවෙලා තියෙනවා. තව එකක් තියෙනවා. රජය ප්‍රතිපත්තියක් විදිහට ව්‍යපාරවලින් ඉවත් වෙන්න ඕන. රජය කළ යුත්තේ නියාමනය කරමින් බදු අයකිරීම යි.
ඇතැම් වෙලාවට මේව කියද්දි ජනාධිපතිතුමාට හිනායනවත් ඇති. එතුම අවුරුදු විස්සකට විතර කලින් මේව කිවුවෙ. අපි එදා හිටියේ ඒකට විරුද්ධ කඳවුරේ. අපි 2001 – 2004 කාලෙ කෙටි කලෙකින් ඒ එතුමල බලයෙන් පහ කරන්න ගත්ත ප්‍රධාන සටන් පාඨය තමයි රාජ්‍ය ආයතන රැකගත යුතුයි කියන එක යැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.