පිළිකා රෝගී ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීම අරමුණු කරගෙන මාතර, කඹුරුගමුව “ලැබීම” නව දිස්ත්‍රික් මහ රෝහලේ රුපියල් මිලියන 80 ක වියදමින් ඉදිකළ “අපේක්ෂා පියස” පිළිකා රෝගී ප්‍රතිකාර වාට්ටුව ඊයේ (20) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ.
මාතර මහ රෝහලේ ආරාධනයෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය මත දෙස් විදෙස් සැදැහැවත් ජනතාවගේ පුණ්‍යාධාර යොදාගනිමින් මාතර බෝධි ආරක්ෂක සභාව විසින් මෙම “අපේක්ෂා පියස- මාතර” පිළිකා රෝගී ප්‍රතිකාර වාට්ටුව ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇත. මාතර බෝධි ආරක්ෂක සභාව විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ 2019 වසරේ දී ය.
මෙම අවස්ථාවට මාතර බෝධි ආරක්ෂක සභාවේ අනුශාසක, විහාරාධිපති, පූජ්‍ය තිස්සමහාරාමයේ ඉන්දානන්ද ස්වාමීන් වහන්සේ ප්රමුඛ අන්‍යාගමික පූජකතුමන්ලා, මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය ලාල් පනාපිටිය, මාතර මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ඒ.ඩි.යූ කරුණාරත්න, දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, මාතර බෝධි ආරක්ෂක සභාවේ සභාපති තිලක් ජයසේකර, ලේකම් වෛද්‍ය හර්ෂ මීමැඩුම, මාතර මහ රෝහලේ පිළිකා රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් වන මහිලාල් විඡේකෝන්, හසන්ති ජයලත් යන මහත්ම මහත්මීන් ප්රමුඛ මාතර බෝධි ආරක්ෂක සභාවේ සාමාජික මහත්වරුන් ඇතුලු වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.