රජයේ සේවකයන්ගේ වැටුප් හා වේතන වෙනුවෙන් දරනු ලැබූ වියදම 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දී රුපියල් බිලියන 939.5 ක් දක්වා 1.7% ක ප්‍රතිශතයකින් අඩු වී ඇති බැව් මුදල් අමාත්‍යාංශය මඟින් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති අය වැය තත්වය පිළිබඳ මහ බැංකු වාර්තාවේ සඳහන්වේ.
2022 වර්ෂයේ රජයේ සේවකයන්ගේ වැටුප් හා වේතන ගෙවීම් සඳහා වැය කළ මුදල රු. බිලියන 956.2 කි. ඒ අනුව 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දී රජයේ සේවකයන්ගේ පඩි නඩි ගෙවීම් සඳහා වැය කරනු ලබන මුදල රු. බිලියන 16.7කින් අඩු වී ඇත. කෙසේ වුවද විශ්‍රාම වැටුප් වියදම 2023 වර්ෂයේ දී රුපියල් බිලියන 372.4 ක් දක්වා 20.5% ක ප්‍රතිශතයකින් වැඩි වී ඇත.
2022 වර්ෂයේ දී විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රජය මගින් දරනු ලැබූ වියදම රුපියල් බිලියන 309.1 කි. විශ්‍රාම වැටුප් වියදම ඉහළ යාම සඳහා විශ්‍රාමිකයන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස වර්ධනය වීම ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. සීමිත මූල්‍ය අවකාශයක් යටතේ වර්ධනය වන රාජ්‍ය අංශය ඉදිරියට පවත්වා ගෙන යාම අනාගතය කෙරෙහි අයහපත් අයුරින් බලපාන බවද මෙම වාර්තාවේ සඳහන්වේ. සාධනීය මානව සම්පත් කළමනාකරණ ක්රමෝපායන් සඳහා මුල් පිරීමේ අවශ්‍යතාව මතු වී ඇති බවද මෙම වාර්තාවේ සඳහන්ව ඇත.