රජය ඉදිරිපත් කර තිබෙන සේවා අපනයන සඳහා වන 15% ක බදු පැනවීමේ යෝජනාව නිසා අන්තර්ජාලය ආශ්‍රිත ගනු දෙනු හරහා මෙරටට ඩොලර් ආදායම් රැගෙන එන තරුණ තරුණියන් බොහෝ කලඹල වී ඇති බව මේ දින වල පෙනෙන්න තිබෙනවා.
මේ බදු පැනවීම අසාධාරණ බවට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව විශාල විරෝධයක් ඇතිවීම විශේෂත්වයක්.
මේ වසරේ අප්‍රේල් මස 01 වන දා සිට විදේශීය මූලාශ්‍රයකින් ලැබෙන හෝ උපයනු ලබන විදේශීය විනිමය මෙරට බැංකුවක් හරහා ලබා ගැනීමේ දී එම ලාභයෙන් 15%ක බද්දක් ගෙවිය යුතු බවට රජය යෝජනා කර තිබෙනවා.
විදේශ රටවල සිට මෙරට බැංකු පද්ධතිය හරහා ගෙන එනු ලබන විදේශ මුදල් සඳහා බදු අය කිරීමක් මේ දක්වා සිදුකර තිබුණේ නැහැ.
ඒ අනුව මෙතෙක් කාලයක් බදු දැලට අසු නොවුණ විශාල පිරිසක් හසු කරගැනීමට රජය හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සේවා සපයන්නන් , වෙබ් නිර්මාණකරුවන්, වෙබ් සංවර්ධකයින්, වීඩියෝ සංස්කාරකවරුන්, ග්‍රැෆික් නිර්මාණ කරුවන් වගේ මාර්ගගතව විදේශීයන්ට සේවා සපයන විශාල පිරිසකට බදු ගෙවීමට සිදුව තිබෙනවා. යූ ටියුබ් වැනි වේදිකා හරහා සිදු කරන නිර්මාණාත්මක කටයුතු වලින් මුදල් උපයන් අයටද මේ බදු ගෙවීමට සිදුවෙන බව පැවැසෙනවා.
කොහොම නමුත් පසුගිය රජය සමයේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශයක් විදිහට මෙම බදු යෝජනාව ඉදිරිපත් වූ විට ජාතික ජන බලවේගය එදා ඒ සඳහා විශාල විරෝධයක් පල කර තිබුණා.
මේ ක්ෂේත්‍රය වෙනුවෙන් රජය කිසිදු සංවර්ධන කටයුත්තකට මැදිහත් නොවී බදු අය කිරීම අසාධාරණ බව පෙන්වා දී තිබුනා. එමෙන්ම බදු පැනවීම නිසා මේ කණ්ඩායම් අධෛර්යමත් වන බවත් මෙරටට ඩොලර් රැගෙන ඒමෙන් වලකිනු ඇති බවත් පෙන්වා දී තිබුණා.
මේ තරුණ තරුණියන් තමන්ගේ සේවාවන් විදේශයන්ට විකුණා මෙරටට ඩොලර් රැගෙන එන්නේ රජය ඒ වෙනුවෙන් ලබා දී තිබෙන පහසුකම් නිසා නොවෙයි. බොහෝ දුෂ්කරතාවයන්ට යටත්වයි ඔවුන් මෙය සිදු කරන්නේ.
කොටින්ම ලංකාවේ වේගවත් සහ පැතිරුණු අන්තර් ජාල සේවා සැපයීමක් සිදු වන්නෙ නැහැ. මේ වෙනුවෙන් ගෙවීමට වෙන මිලත් අධිකයි. ඒ සඳහා විශාල බදු පැනවීමකුත් සිදු කර තිබෙනවා. අන්තර්ජාතික මාර්ගගත ගෙවීම් වේදිකාවන් මේ රට තුල නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙන්නෙත් නැති තරම්. අඩු මතරමින් ’පේ පැල්’ වගේ ගෙවීම් හුවමාරු ක්‍රමයකටත් අවසර නැහැ. ක්‍රිප්ටෝකරන්සි වැනි අතථ්‍ය මුදල් ගනු දෙනු තවමත් පිළිගන්නෙ නැහැ.
ඒ වගේම මෙරට සමස්ථ බැංකු පද්ධතිය තුළත් මේ මාර්ගත ආදායම් උපදවන්නන් ගැන තියෙන්නේ බරපතල සැකයක්. තමන්ගේ බැංකු ගිණුම් විස්තර සහතික කරගැනීමක් පවා නිලධාරීන් පහසුවෙන් කර දෙන්නෙ නැහැ. ඒ තත්වයන් මත සේවා අපනයන කටයුතු දියුණු කර ගන්න බැංකු ණයක් නම් ලබා ගැනීමේ හැකියාවක් කොහොමටවත් ලැබෙන්නේ නැහැ.
මේ වගේ විදේශ විනිමය ගේන මේ ඩිජිටල් ශ්‍රම බළකායට කිසි ම පිළිගැනීමක් රට තුළ නොමැතිව තිබියදී ඔවුන් ගෙන බදු ලබා ගැනීම තුළ අසාධාරණයක් තියෙනවා කියන එක පැහැදිලියි.
නමුත් මේ බදු ආදායම් රැස් කරගන් නැතිව අද රජයට පවතින්න බැහැ. වේදිකාවේ පරණ කථා අමතක කරන්න සිදු වෙලා තියෙනවා.
කොහොම නමුත් බදු ලබා ගැනීමේ දී රටේ බදු ප්‍රතිපත්තිය රටේ සියලුම පුරවැසියන්ට සාධාරණ වෙන්න ඔ්න. එක හා සමාන ආදායම් ලබන පිරිසක් අතරින්, කොටසක් පමණක් බදු ගෙවීම කරනවා නම් ඒක ආසාධාරණයි. ඒ වැරද්ද මේ රටේ තිබෙනවා.
බදු සහන ලැබිය යුතු අයට එය නොලැබී සහන නොලැබිය යුතු අයට සහන ලැබී තිබෙනවා.
එ් වගේම බදු ගෙවිය යුතු අය එය නොගෙවා පැහැර හැරීම වෙනවා. බදු පැහැර හරින වංචනිකයන්ගේ බදු නියමාකාරයෙන් අය කර ගැනීමේ දී රජය බරපතල ලෙස අසමත්ව සිටිනවා.
එ් වගේම බදු ආදායම් වඩාත් නිවැරදිව කලමණාකරණය කර ගනිමින් පුරවැසි යහපත පිණිස එය වියදම් කිරීමේ දී රජය සෑම විටම අසාර්ථක වී ඇති බවත් රහසක් නොවෙයි.
විශේෂයෙන්ම පාඩු ලබන විශාල රාජ්‍ය ආයතන පද්ධතියක් සහ අති විශාල රාජ්‍ය සේවකයන් පිරිසක් නඩත්තු කිරීම.. අනවශ්‍ය ලෙස සහනාධාර ප්‍රමාණයක් ලබා දීම. දුෂණ වංචා නාස්තිකාර වියදම්, රජයේ අනන්‍යතාවයක් බව පත් තිබීම මේකට පැහැදිලි
උදාහරණ.
නමුත් මේ අසාර්ථකත්වයෙන් ගැලවීමට ගන්නා උත්සාහයන්ද නැවත බදු ආදායම් නාස්ති කරමින් කරන කියන දේවල් වලට සීමා වීම් ද දකින්න තිබෙන දෙයක්. ජනතාව මත බදු බර පටවන්න කලින් මේ මුලික ප්‍රශ්න විසඳා ගත යුතු වෙනවා.
කොහොම නමුත් වර්තමාන රජයට සිදුව ඇති ලොකුම අලකලංචිය ඔවුන් විපක්ෂයේ සිටිය ඳී මවපු සිහින මාළිඟා වල ඇත්ත යථාර්ථයට අද ඔවුන්ට මුහුණ දීමට සිදුව තිබීමයි.
උඳු වපුරා මුං අස්වැන්නක් බලාපොරොත්තු නොවිය හැකි සේම, ආණ්ඩුවටත් සිදුව ඇත්තේ තමන් පෙර වපුරපු ජනප්‍රිය මතවාදයන් අනුව අද යථාර්ථයට මුහුණ දීම දුෂ්කර අභියෝගයක් බවට පත් වීමයි.