අද වෙන කොට 70%ක 75% පවුල් ප්‍රමාණයක් ඉතාම දුගී දුප්පත් බවට පත්ව සිටින බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.
මහවැලි සී කලාපයේ මහවනාවෙල ග්‍රාමයේ ඊයේ (06) වප් මඟුල් උත්සවයට සහභාගී වෙමින් ලාල් කාන්ත මහතා මෙලෙස පැවසිය.
එයට එක් වූ මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.ජේ.කේ. හේරත් මහතා මෙම අවස්ථාවේ අරමුණ පැහැදිලි කර සිටියා.
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්තිය යටතේ පුනරුදයට අරුණලු කෘෂිකර්ම සංවර්ධන ජාතික වැඩසටහන ක්‍රියාත්මක වනවා. බීජ නිෂ්පාදනය වැඩි දියුණු කිරීම, කෘෂිකාර්මික බෝගවල අස්වැන්නට අගය එකතු කර අපනයනය කිරීම, යාන්ත්‍රීකරණය පුළුල් කිරීම, පසේ සාරවත් බව වැඩිකිරීම, ආරක්ෂිත ගෘහ හා ඒ ආශ්‍රිත නවීන කෘෂිකාර්මික පද්ධති පිහිටුවීම, අතිරේක ආහාර බෝග නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම පුනරුදයට අරුණලු වැඩසටහනෙහි අරමුණයි. එහි දී වී වගාව සම්බන්ධයෙන් සරු කෙතක අස්වැන්න නමින් මහවැලි කලාපවල යාය 02 වැඩසටහන ක්‍රියාත්මක වනවා. එම වැඩසටහන යටතේ ලියදි විශාල කිරීම, ගැඹුරට සී සෑම, කාබනික ද්‍රව්‍ය කුඹුරුවලට හඳුන්වාදීම, රසායනික පොහොර නිර්දේශය අනුව යෙදීම, කෘමි හානි සහ රෝග හානි පාලනය, පවතින ජලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම, නිසි කලට අස්වනු නෙලීම, නවීන තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීම, ගොවිපල යන්ත්‍ර යොදා ගැනීම වැනි ක්‍රියාකාරකම් සිදු කරනු ලබනවා.
අද අපි මේ වප් මඟුලෙන් අදහස් කරන්නේ 2025/26 කන්නයේ සමාරම්භක අවස්ථාවයි. මේ වැඩසටහන තුළින් අපි බලාපොරොත්තු වෙනවා, ගොවීන් අතර හොඳ උනන්දුවක් ඇති කිරීමට. ඒ වගේම නවීන තාක්ෂණික උපක්‍රමවලට ගොවීන්ව යොමු කිරීම. අද අපි වැදගත් වැඩසටහනක් පටන් ගන්නවා. ඒ තමයි සහන මිලට කෘෂිකාර්මික යන්ත්‍ර කුලියට දීමේ මධ්‍යස්ථානයක් (Machinary Hub) ආරම්භ කරනවා. ”
මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා ද අදහස් පළ කළේය
“අස්වැන්න නෙලීමේදී අපේ ගොවිජනතාව මුහුණ දෙන ගැටළුවලට විසඳුම් අවශ්‍ය වෙලා තියෙනවා. මේ සියල්ල ඉලක්ක කරගෙන ලෝකයේ නවීන තාක්ෂණය භාවිත කරමින් කෘෂිකර්මාන්තය විප්ලවීය වෙනසක් කරා යා යුතුව තිබෙනවා. උදේ ඉඳන් රෑ වෙනකන් අපි සාම්ප්‍රදායික දෛනික ජීවන අරගලයක යෙදෙනවා. ඒ අතර වප් මඟුල වගේ අවස්ථාවක අපි සංස්කෘතික ජීවිතයේ විවිධ අවස්ථා අත්විඳිනවා. අපි රටක් විදිහට සමාජයක් විදිහට මීට වඩා සිය දහස් ගුණයක් සංවර්ධන මට්ටමක සිටිය යුතු රාජ්‍යයක්. කිසිවකින් අඩුවක් නැති. හැම පැත්තකින්ම සම්පත්වලින් පිරි රාජ්‍යයක්. අද වෙනකොට 70%ක 75% පවුල් ප්‍රමාණයක් ඉතාම දුගී දුප්පත් බවට පත්වෙලා තියෙනවා. මෙය වෙනස් කළ යුතුව තියෙනවා. ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම, නාගරික දුප්පත්භාවය තුරන් කිරීම, ඒ වගේම සෑම ක්ෂේත්‍රයක්ම සංවර්ධනය කිරීම කළ යුතුව තිබෙනවා. ඒ පරම පවිත්‍ර අරමුණෙන් යුක්තව ජනාධිපතිතුමාගේ සිට ඇමතිවරුන් මන්ත්‍රීවරුන් ඇතුළු ආණ්ඩුව මැදිහත් වෙමින් සිටිනවා. මේ රට ඉහළට ඔසවා තැබීමේ කාර්යයට අප හා එක්වන්න කියලා මම ඔබට ආරාධනා කරනවා.”
මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය ලාල්කාන්ත මහතා ද අදහස් පළ කළේය.
“ගොවිජනතාවගේ ජීවිතය නඟා සිටුවීමේ වගකීම සහ රටට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කිරීම ආහාරවල හිඟභාවයක් නැතිව ජනතාවට ආහාර සැපයීමේ වගකීමට උරදෙන එක තමයි අපේ අමාත්‍යාංශයේ කාර්යභාරය. පෝෂ්‍යදායී ආහාර වේලක් ජනතාවට ලබා දෙන්නත් ඕනේ. ගොවි ජනතාවගේ ආර්ථිකය යහපත් කරන්නත් ඕනේ. ඒ වෙනුවෙන් අපි වැඩ කිහිපයක් ආරම්භ කරලා තියෙනවා. අපේ ජනාධිපතිතුමා හෙක්ටයාරයකට ලැබුණු රුපියල් 15,000ක පොහොර සහනාධාර මුදල ආපු ගමන්ම රුපියල් 25,000ක් කළා, ආර්ථිකය කඩා වැටිලා තියෙද්දිත්. ඒක ගොවිජනතාවට ක්ෂණිකව ලැබුණු සහනයක්. ඊළඟට මේ අවුරුද්ද මුලදිම අපි තවත් වැඩක් කළා. කුඹුරු ඉඩම්වල වී නොවන අනෙකුත් බෝග වගා කරනවා නම් හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් පොහොර සහනාධාරයක් ලබා දෙන්න තීරණය කළා. ඊළඟ කාරණය තමයි වී කිලෝග්‍රෑමයකට සාධාරණ මිලක් ගොවියට ලබා දීම. අපි ඒකට වැඩපිළිවෙලක් හැදුවා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ පුහුණු ආයතනය එක්ක එකතුවෙලා. ඒ අනුව අපි වී අලෙවි මණ්ඩලය මඟින් වී මිලදී ගැනීම ආරම්භ කළා. අපි එනකොට වී අලෙවි මණ්ඩලයට තිබුණේ එක ලොරියයි. ඒකත් කොට උඩ. ගබඩා වල් වැදිලා. ගිය මාස් කන්නයේ වී මිලදී ගැනීම ආරම්භ කළා. ගොවියාට වී සඳහා හොඳ මිලක් ලැබුණා. මේ ආණ්ඩුව ඇවිල්ලා පළවෙනි කන්නයේ ගොවිජනතාවට හොඳ මිලක් ලැබුණා. ඒ ගැන අපිට සතුටුයි.
මේ දවස්වල රටේ බී ලූණු වගේම අල ප්‍රශ්නයක් තියෙනවා. යම්තාක් දුරකට ඒ ප්‍රශ්න විසඳගෙන තියෙනවා. අපේ බලාපොරොත්තුවක් නැහැ වී වගා කරන බිම් ප්‍රමාණය වැඩි කරන්න. අපි කළ යුත්තේ අස්වැන්න වැඩි කර ගැනීමයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පටන් අරගෙන තියෙනවා යාය 500 වැඩසටහන. ඉන් බලාපොරොත්තු වෙන්නේ බෝගයට නිසි පරිදි, අවශ්‍ය වේලාවට, අවශ්‍ය පෝෂණය ලබා දීලා වැඩි අස්වැන්නක් ගන්න. රසායනික පොහොර අඩු කරන්න නෙවෙයි අපි යන්නේ. ගහට අවශ්‍ය පොහොර නිසි ප්‍රමාණයෙන් ලැබෙන්න ඕනේ. ඒ කාබනික පොහොර වුණත්, රසායනික පොහොර වුණත්.
මේ වප් මඟුලේ සංස්කෘතික අංග තිබුණා. පොඩි දරුවන් ඉදිරිපත් කළ නර්තනාංගය ගැන ආඩම්බරයි. ගම්වල සංස්කෘතික උළෙලවල් අවශ්‍යයි. ඒවායින් අපේ ජීවිත හැඩ ගැහෙනවා. ආර්ථිකය කියලා කියන්නේ එකක් විතරයි. සංස්කෘතික අංග වැඩි දියුණු කරන්නත් මහවැලිය මැදිහත් වෙලා තියෙනවා. අපි ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා.
ඒ වගේම අපට සමාජයක් අවශ්‍යයි. එකිනෙකාට ආදරය කරන සමාජයක් ඕනේ. සහකම්පනය දැනෙන්න ඕනේ. සමාජයේ තියෙන වසවිස ටික ඉවර කරන්න ඕනේ. අද වසවිසවලට හැමෝම ගොදුරු වෙලා. දැන් නීතිය තදින් ක්‍රියාත්මකයි. මත්ද්‍රව්‍ය පතුරවනවා නම් නීතිය ක්‍රියාත්මකයි. අද සමාජයේ බරපතලම වසංගතය තමයි කුඩු ජාවාරම. හෙක්ටයාර් එකක වී බුසල් ප්‍රමාණය වැඩි කරගත්තට වැඩක් නැහැ, සමාජය බිඳ වැටිලා නම්. අපි බලයට ආවට පස්සේ දේශපාලන පළි ගැනීම් කළේ නැහැ. අද රටේ ජාතිවාදය නැති කරලා තියෙන්නේ. අපි සෑම ක්ෂේත්‍රයකම ආරම්භයක් අරන් තියෙනවා.”













