රජය විසින් සැලසුම් කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කර නොමැති බවත්, ඒ පිළිබඳව මහජනතාව සහ අදාළ සියලු පාර්ශ්වයන් දැනුවත් කිරීමට පියවර ගනිමින් සිටින බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ 6 වසර ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය හේතුවෙන්, ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් දෙදෙනෙකු පරීක්ෂණ නිමවන තෙක් අනිවාර්ය නිවාඩු ගැන්වීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. ඇතැම් පාර්ශ්වයන් විසින් මතු කරන ලද විරෝධතා සහ ව්‍යාකූලතා මධ්‍යයේ සියලු දෙනා නිසි ලෙස දැනුවත් නොකර මෙම ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම ප්‍රායෝගික නොවන බැවින්, 6 වසර සඳහා වූ නව විෂය මාලාව පමණක් මාස කිහිපයකට තාවකාලිකව අත්හිටුවා ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත්, 1 වසර සිසුන් සඳහා වන නවීකරණය කරන ලද විෂය මාලාව සැලසුම් කළ පරිදිම ලබන ජනවාරි 29 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වේ. විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව හානිකර මත ප්‍රචාරය කළද, සමස්ත පරම්පරාවකගේම අධ්‍යාපනය ගුණාත්මකව ඉහළ නැංවීමට රජය කැපවී සිටින බවත්, පවතින ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට මෙම තාවකාලික කාලසීමාව යොදා ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය














