පාසල් පද්ධතිය හා සම්බන්ධ අසභ්‍ය සහ නුසුදුසු දර්ශන සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් ප්‍රචාරය වීම පාලනය කිරීම සඳහා, බාලවයස්කාර දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, මෑතකදී පාසල් ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකු සහ ගුරුවරියන් තිදෙනෙකු සම්බන්ධ කරගනිමින් සංසරණය වූ වීඩියෝවක් හේතුවෙන් පුද්ගලික ජීවිතවලට සිදුව ඇති බරපතල හානිය සැලකිල්ලට ගෙන මෙම සාකච්ඡා ආරම්භ කළ බවයි.
මාධ්‍ය අමාත්‍යාංශය හෝ අධ්‍යාපන අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගත් වහාම එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට රජය සූදානම් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ලෝකයේ බොහෝ රටවල් මේ වන විටත් දරුවන්ගේ මානසික සෞඛ්‍යය සහ සයිබර් හිංසනය වැළැක්වීම සඳහා මෙවැනි සීමාවන් පනවා ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට පියවර ගෙන ඇති අතර, ප්‍රංශය සහ චීනය වැනි රටවල් ද දැඩි වයස් සීමාවන් සහ කාල සීමාවන් පනවා තිබේ.
ශ්‍රී ලංකාව තුළ ද විදුලි සංදේශ සමාගම් හරහා මෙම සීමාවන් තාක්ෂණිකව ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින නමුත්, එය ක්‍රියාත්මක කිරීමට පෙර විධිමත් සැලසුමක් සහ පොදු සමාජ එකඟතාවක් අවශ්‍ය බව රජයේ මතය වී තිබේ.














