බුදුසමය සහ සම්බුද්ධ ශාසනය තුළ සුවිශේෂී සන්ධිස්ථාන රැසක් සනිටුහන් වූ උතුම් නවම් පුන් පොහෝ දිනය අදට (පෙබරවාරි 01) යෙදී තිබේ. සම්බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් සිදු වූ ප්‍රධානතම ශාසනික සිදුවීම් රැසකට මෙම පොහොය දිනය පදනම් වී ඇත.
– අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම
සම්බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ ධර්ම පුරෝහිත මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ යන දෙනම වෙත අග්‍රශ්‍රාවක තනතුරු පිරිනමන ලද්දේ නවම් පුන් පොහෝ දිනකදීය. රජගහනුවර වේළුවනාරාමයේදී මහරහතන් වහන්සේලා 1,250 නමකගේ සහභාගීත්වයෙන් පැවැති ප්‍රථම මහා සංඝ සන්නිපාතයේදී මෙම පදවි ප්‍රදානය සිදු කෙරිණි. බුදුරජාණන් වහන්සේ එහිදී සාරිපුත්ත හිමියන් ශාසනික දරුවන් බිහි කරන මවකටත්, මොග්ගල්ලාන හිමියන් එම දරුවන් වඩවන කිරි මවකටත් සමාන කරමින් උන්වහන්සේලාගේ ගුණ වර්ණනා කළ සේක.
– ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම
සම්බුද්ධත්වයෙන් මුල් වසර විස්ස තුළ ශාසනයේ පාරිශුද්ධත්වය රැකගැනීම සඳහා භික්ෂූන් වහන්සේලාට අවවාදාත්මකව දේශනා කළ “ඕවාද ප්‍රාතිමෝක්ෂය” ප්‍රකාශයට පත් කරන ලද්දේ ද අද වැනි පොහොය දිනකදීය. “සබ්බ පාපස්ස අකරණං…” ආදී ගාථා රත්නයන් මගින් සියලු පව් නොකිරීමටත්, කුසල් රැස් කිරීමටත්, තමන්ගේ සිත පිරිසිදු කර ගැනීමටත් බුදුරජාණන් වහන්සේ එහිදී අනුශාසනා කළ සේක.
– ආයු සංස්කාරය අත්හැරීම
භාග්‍යවතුන් වහන්සේ සිය අසූවන වියෙහිදී තව තෙමසකින් තමන් වහන්සේ පිරිනිවන් පාන බව ප්‍රකාශ කරමින් ආයු සංස්කාරය අත්හැර වදාළේ ද නවම් පුන් පොහෝ දිනකදීය. විශාලා මහනුවර චාපාල චෛත්‍යය අසලදී මාරයාගේ ආරාධනය පිළිගනිමින් උන්වහන්සේ මෙම තීරණය ගත් අතර, එය මුළු මහත් විශ්වයේම කම්පනයට හේතු වූ මහා භූමි චලනයකින් තහවුරු විය.
අද දිනයේ දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල මෙම ශාසනික වැදගත්කම් සිහිපත් කරමින් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල නිරත වීමට බොදු ජනතාව කටයුතු කරති.














