කොළඹ මහාධිකරණය මගින් විකිණීම තහනම් කර තිබූ දේපළක්, එම තහනම සඟවා රුපියල් මිලියන 340කට (කෝටි 34කට) වෙනත් ව්‍යාපාරිකයෙකුට විකිණීමේ වංචාවකට සම්බන්ධ 85 හැවිරිදි ව්‍යාපාරිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගෙන තිබේ. බම්බලපිටිය, එලිබෘක් පාරේ පදිංචි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුවය.
අදාළ දේපළ අධිකරණය මගින් තහනම් කර ඇති බව දැන දැනම සැකකරු මෙම ගනුදෙනුව සිදුකර ඇති බවත්, ඒ හරහා රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුකර ඇති බවත් පොලිසිය පවසයි. අගතියට පත් ව්‍යාපාරිකයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඊයේ (03) අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයා අද (05) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රහස් පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.











