සිරගත කළ භික්ෂූන් ඇතුළු පිරිස වහා නිදහස් කරන ලෙස ඉල්ලයි
ත්‍රිකුණාමලය බෝධිරාජාරාමයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට උත්සාහ කිරීමේදී ඇති වූ මතභේදාත්මක තත්ත්වය මත භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් සිරගත කිරීම සම්බන්ධයෙන් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කුලපති, ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක ස්වාමීන්වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා ඇතුළු දස දෙනෙකු සිරගත කිරීම පිළිබඳව සිය දැඩි කණගාටුව පළ කරන බව මහානායක ස්වාමීන්වහන්සේ එම ලිපිය මගින් අවධාරණය කර ඇත. අදාළ භික්ෂූන් වහන්සේලා සිදුකර ඇත්තේ පෙර රජවරුන් විසින් දිවි හිමියෙන් රැකගත් පූජනීය පින්බිමක බුදු පිළිමයක් තැන්පත් කිරීම මිස වෙනත් කිසිදු අපරාධයක් නොවන බවත්, බුදු පිළිමයක් තැබීමට ගොස් උන්වහන්සේලා පහරකෑමට පවා ලක්ව ඇති බවත් එහි දැක්වේ.
මෙවැනි සාමාන්‍ය සිදුවීමක් පදනම් කරගෙන බරපතල චෝදනා ගොනු කරමින් රජයේ මැදිහත්වීම ද සහිතව සිදුකරන ලද මෙම ක්‍රියාව සිතාමතාම සම්බුද්ධ ශාසනයට එරෙහිව කරන ලද මහා අපරාධයක් බව තමා විශ්වාස කරන බවද උන්වහන්සේ සිය ලිපියෙන් පෙන්වා දී තිබේ. එබැවින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා ඇතුළු දස දෙනා වහාම නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහානායක ස්වාමීන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.














