2019 පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සහ චැනල් 4 නාලිකාව විසින් අනාවරණය කළ කරුණු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පවත්වන විමර්ශනයකට අදාළව, යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කිරීම කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද ප්‍රතික්ෂේප කළේය. මෙම තහනම ඉවත් කරන ලෙස ඉල්ලා මෝසමක් ගොනු කර තිබුණේ යුද හමුදා බුද්ධි අංශයේ කර්නල් කැළුම් මද්දුමගේ සහ මේජර් කොහිලවත්ත යන නිලධාරීන් දෙදෙනා විසිනි.
නීතිපති දෙපාර්තමේන්තුව මෙම ඉල්ලීමට සිය දැඩි විරෝධය පළ කළ අතර, සැකකාර නිලධාරීන් විසින් ගොනු කර ඇති අභියාචනයක් ලබන 22 වනදා කැඳවීමට නියමිත බව අධිකරණයට දැනුම් දුන්නේය. දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ අභියාචනය සම්බන්ධයෙන් නිකුත් කෙරෙන නියෝගයෙන් අනතුරුව විදෙස් ගමන් තහනම පිළිබඳ සුදුසු තීරණයක් ගන්නා බව ප්‍රකාශ කරමින් එතෙක් තහනම දීර්ඝ කිරීමට නියෝග කළේය.














