ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්ත පුනරුදයක් ඇති කරමින්, රාත්‍රී කාලයේදී ද තරග පැවැත්විය හැකි අංගසම්පූර්ණ ක්‍රීඩාංගණයක් ඉදිරි කාලයේදී ඉදි කිරීමට සැලසුම් කර ඇති බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රකාශ කළේය. ඊයේ (17) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ මේ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වත්මන් අයවැය මගින් දැනටමත් වෙන් කර ඇති බවයි.
විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල පාසල් ක්‍රීඩා සංවර්ධනය කෙරෙහි රජයේ දැඩි අවධානය යොමු වී ඇති බව අමාත්‍යවරයා පැවසීය. සමගි ජන බලවේගයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, එම පළාත්වල ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා පවතින සියලු අඩුපාඩු සොයා බලා ඒවා නිවැරදි කිරීමට රජය පියවර ගන්නා බවයි.
ත්‍රිකුණාමලයේ ඓතිහාසික මැකේසර් ක්‍රීඩාංගණය ජාතික මට්ටමේ තරගාවලි පැවැත්විය හැකි පරිදි නවීකරණය කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව ද මෙහිදී අනාවරණය විය. රජයේ “මහජන ක්‍රීඩා පිටි” සංකල්පය යටතේ ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දක්ෂතා ඔප්නැංවීමට අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම මෙහි ප්‍රධාන අරමුණයි.
රාත්‍රී කාලයේ ක්‍රීඩා කිරීමට හැකිවන පරිදි ඉහළ ප්‍රමිතියෙන් යුත් විදුලි ආලෝක පද්ධති (Floodlights) සහිතව මෙම ක්‍රීඩාංගණය ඉදි කිරීම හරහා සංචාරක කලාපයක් වන ත්‍රිකුණාමලය තුළ ක්‍රීඩා සංචාරක කර්මාන්තය ද (Sports Tourism) ප්‍රවර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














