විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් අතර සමගිය ශක්තිමත් කිරීමේ අරමුණින් ‘මහා ජනහඬ සංවිධානයේ’ නියෝජිත පිරිසක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (18) පෙරවරුවේ පැවැත්විණි. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී මෙම හමුව සිදු විය.
මෙහිදී වර්තමාන දේශපාලන තත්ත්වය, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, නීතියේ ආධිපත්‍යය සුරැකීම සහ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගෙන තිබේ. මහා සංඝරත්නය බැහැදුටු අවස්ථාවේදී ලැබුණු අනුශාසනා පරිදි, විපක්ෂයේ සියලු බලවේග පොදු අරමුණක් වෙනුවෙන් ඒකාබද්ධ කිරීමේ සාකච්ඡා මාලාව මෙලෙස ආරම්භ කළ බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ අද පැවැති සාකච්ඡාව ඉතා සාර්ථක වූ බවත්, ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ ද මෙවැනි සාකච්ඡා පවත්වන බවත්ය. ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව විපක්ෂයක් ලෙස පොදු එකඟතාවයකට පැමිණීම මෙහි ප්‍රධාන අරමුණ බව පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම සාකච්ඡාව සඳහා මහා ජනහඬ සංවිධානය වෙනුවෙන් මහාචාර්ය ජී.එල්. පීරිස්, මහින්ද අමරවීර, උදය ගම්මන්පිල, ටිරාන් අලස් සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් එක්ව සිටි අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම් සහ සී.බී. රත්නායක යන මහත්වරු එක්ව සිටියහ.














