ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය මගින් මෙහෙයවන ලද සිව්වන ආදර්ශ එක්සත් ජාතීන්ගේ සමුළුව 2026 පෙබරවාරි 7 සිට 10 දක්වා කොළඹදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. “කෘත්‍රිම බුද්ධිය (AI) හරහා සාමය සහ ආර්ථික තිරසාරභාවය ගොඩනැගීම” යන කාලෝචිත තේමාව යටතේ පැවති මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10 කට වැඩි ප්‍රමාණයක තරුණ නියෝජිතයින් 150 ක් පමණ එක්ව සිටියහ. ගෝලීය ප්‍රතිපත්ති සංවාදයට සහ වගකිවයුතු AI පාලනයට අවශ්‍ය මගපෙන්වීම ලබාදීම සඳහා මෙය සුවිශේෂී වේදිකාවක් සැපයූ අතර, හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් සමුළුවේ රාජ්‍ය තාන්ත්‍රික රාත්‍රිය වර්ණවත් කළේය.
මෙම අවස්ථාවට නේපාල තානාපති ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි මහත්මිය, ඉන්දුනීසියානු තානාපතිනි ඩිවි ගුස්ටිනා ටොබින් මහත්මිය ඇතුළු විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් රැසක් සහභාගී වී සිය අත්දැකීම් බෙදාගත්හ. දෙවන දිනය මුළුල්ලේම MUN කමිටු සැසි සහ විධිමත් රාජ්‍ය තාන්ත්‍රික අනුකරණ අභ්‍යාස පැවැත්වුණු අතර, තෙවන දිනයේදී විදේශීය නියෝජිතයින්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැරඹීමට සහ කොළඹ නගරයේ සංචාරය කිරීමට අවස්ථාව හිමිවිය. ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් සල්මන් කාසි, සභාපති අහමත් සාදික් සහ මහලේකම් චාමක සමරකෝන් යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මෙම සංවිධාන කටයුතු මෙහෙයවා තිබුණි.
2023 දී ආරම්භ කරන ලද මෙම සංවිධානය මීට පෙර නවදිල්ලිය, ගෝවා සහ බැංකොක් නුවර සාර්ථක සමුළුවලට නායකත්වය ලබා දී ඇත. කොළඹ පැවති මෙම 4 වන ජාත්‍යන්තර සමුළුවේ සාර්ථකත්වයත් සමඟ ඔවුන්ගේ ඊළඟ අදියර 2026 මැයි මාසයේදී ඩුබායි හිදී පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතී. මෙම වැඩසටහන තරුණ පරපුර අතර ජාත්‍යන්තර සබඳතා සහ නායකත්ව කුසලතා ඔප්නැංවීම සඳහා ලැබුණු මහඟු අවස්ථාවක් ලෙස අවධාරණය කෙරේ.














