නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි පිහිටි ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානය සහ නවසීලන්ත ශ්‍රී ලංකා බෞද්ධ භාරය (NZSLBT) එක්ව ‘දිට්වා’ ව්‍යසනයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් නවසීලන්ත ඩොලර් 35,000ක (රුපියල් මිලියන 6කට ආසන්න) පරිත්‍යාගයක් සිදු කර තිබේ. නවසීලන්තයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය වල්ගම මුනින්දවංශ නායක හිමිපාණන්ගේ මඟපෙන්වීම යටතේ සිදු වූ මෙම මානුෂීය මෙහෙයුම, විදේශගත ශ්‍රී ලාංකිකයන් තම මාතෘ භූමිය කෙරෙහි දක්වන අසීමිත ලැදියාව විදහා දක්වන්නකි.
මෙම පරිත්‍යාගය නිල වශයෙන් භාරදීමේ උත්සවය 2026 පෙබරවාරි 14 වන දින ඕක්ලන්ඩ් ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේදී පැවැත්වුණු අතර, එහිදී අරමුදල් අදාළ චෙක්පත නවසීලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසන්න ගමගේ මහතා වෙත පිළිගන්වන ලදී. එහිදී අදහස් දැක්වූ මහ කොමසාරිස්වරයා, දුෂ්කර අවස්ථාවන්හිදී අනුන්ගේ දුකේදී පිහිට වීම යන බෞද්ධ දර්ශනයේ ‘කරුණා’ මූලධර්මය නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ක්‍රියාවෙන් ඔප්පු කර ඇති බව අගය කළේය.
මෙම අරමුදල් ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරය හරහා වඩාත් විනිවිදභාවයකින් යුතුව ආපදාවට ලක්වූවන්ගේ ප්‍රමුඛතා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා කඩිනමින් යොමු කරන බවට මහ කොමසාරිස්වරයා මෙහිදී සහතික විය. ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ ක්‍රියාවලියට ජාත්‍යන්තරයේ වෙසෙන ලාංකිකයන් මෙලෙස එක්වීම රජයේ සහන මෙහෙයුම්වලට විශාල දිරිගැන්වීමක් වී තිබේ.














