මාතර දිස්ත්‍රික්කය පුරා මේ වන විට දැඩි ගෑස් හිඟයක් නිර්මාණය වී ඇති අතර, මේ හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. මාතර ගාලු පාරේ පිහිටි ලිට්රෝ ගෑස් බෙදාහැරීමේ නියෝජිත ආයතනය ඉදිරිපිට 22 දහවල් දිගු පෝලිම් දක්නට ලැබුණු බව වාර්තා වේ.
බෙදාහැරීමේ මධ්‍යස්ථානය වෙත රැගෙන ආ සීමිත ගෑස් තොගය පෝලිමේ සිටි පිරිසකට ලබාදීමට කටයුතු කළ ද, තොග අවසන් වීම හේතුවෙන් තවත් විශාල පිරිසකට හිස් අතින් ආපසු යාමට සිදු විය. විශේෂයෙන්ම මාතර දිස්ත්‍රික්කය තුළ සති දෙකකට වැඩි කාලයක සිට ලාෆ් ගෑස් (Laugfs Gas) මිලදී ගැනීමට නොමැති වීම මෙම තත්ත්වය තවත් උග්‍ර වීමට හේතු වී තිබේ.
දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවල ද ගෑස් අලෙවිසැල් බොහොමයක “ගෑස් නැත” යනුවෙන් පුවරු ප්‍රදර්ශනය කර ඇති අයුරු දක්නට ලැබුණි. පවතින මෙම හිඟය හේතුවෙන් දෛනික කටයුතු කර ගැනීමට නොහැකිව සාමාන්‍ය ජනතාව මෙන්ම කුඩා පරිමාණයේ ආපනශාලා හිමියන් ද දැඩි අර්බුදයකට මුහුණ දී සිටිති.














